Sunday, February 14, 2010

පුතුනි රාහුල


සුදු පිරුවටින් ගත සරසවා
කුලගෙයට සමු දී
මව්පිය අවසරය ගෙන
සවන් පිනවන ඝණ්ඨා නාද
සිත් සනසන සදහම් සුවද
පියනැගුවා සොයමින්
රන්වන් පාටින් බැබළුණ බෝ සමිදු අභියසට
කෙස් වැටිය දන් දී
කහවන් සිවුරක් ගත පොරවාගෙන
බුදු රදුන් වැඩි මග පියමනින්න
සසුනට එක් වුනා තවත් රාහුල පුතෙක්
ඉදින් මතුවටත් නුඹ මට පුතෙක් නොව
මුළු මහත් බෞද්ධයන්ට ම පුංචි හාමුදුරුනමක්
එතෙරව සසර අනෙක් අයත් මුදවන්න දුකින්
ඒ පිනම ඇති බුදු පුතේ
මව් සෙනෙහස බැති බරින් පාරමී පුරා
එතෙර වන්නට බව කතර.....

Tuesday, February 9, 2010

කේන්දරය

කේන්දරය කියලා කියන්නේ කෙනෙකු මෙලොව උපත ලැබූ වෙලාවේදී ග්‍රහයන් පිහිටා තිබෙන ආකාරය අනූව සකස් කරන ලද සටහනකි.උපන් වෙලාව,දිනය හා ස්ථානය අනූව පංචාංග ලිත උපයෝගී කරගෙනයි.කේන්දරය බලා කෙනෙකුගේ වර්තමාන මෙන්ම අනාගත තොරතුරු ගැනත් දැනගන්න පුළුවන්.කේන්දර සටහනක් තිබෙන හැම කෙනෙකුටම ලග්නයක්ද අයිතියි.ලග්නය යොදාගනු ලබන්නේ රාශි චක්‍රය අනූවයි.මුළු අහසම තරු රටා 88 කට බෙදා තිබෙනවා.ඒ අතරින් තරු රටා 12 ක් රාශි චක්‍රයට අයත්ය.ඒ රාශි 12 වනුයේ,
මේෂ - එළුවෙක් නිරූපණය වේ.
වෘෂභ - ගවයෙක් නිරූපණය වේ.
මිථුන - නිවුන් සහෝදරියන් දෙදෙනෙක් නිරූපණය වේ.
කටක - කකුළුවෙක් නිරූපණය වේ.
සිංහ - සිංහයෙක් නිරූපණය වේ.
කන්‍යා - මල් කිනිත්තක් අතින් ගත් කාන්තාවක් නිරූපණය වේ.
තුලා - තරාදියක් නිරූපණය වේ.
වෘශ්චික - ගෝනුස්සෙක් නිරූපණය වේ.
ධනු - අශ්වයෙකු පිට නැගි දුනුවායෙක් නිරූපණය වේ.
මකර - මුහුදු අශ්වයෙක් නිරූපණය වේ.
කුම්භ - කළයක් අතින් ගත් කාන්තා රුවක් නිරූපණය වේ.
මීන - මාළු දෙදෙනෙක් නිරූපණය වේ.

දරුවෙකු උපදින වෙලාව අනූව නැගෙනහිර ක්ෂිතිජයේ උදාවී තිබෙන රාශිය එම දරුවාගේ ලග්නය සේ යොදාගන්නවා.උදාහරණයක් වශයෙන් දරුවෙක් දහවල් 2.00 ට උපත ලැබුවා යැයි සිතමු.එවිට එම වෙලාවේදී නැගෙනහිර ක්ෂිතිජයේ උදාවී තිබෙන රාශිය මේෂ නම් එම දරුවාගේ ලග්නය වන්නේ මේෂයි.කේන්දරය නිර්මාණය කරන්නේ ජෝතිෂ්‍යයට අනූවයි. ජේතිෂ්‍යය කියන්නේ ආකාශ වස්තූන්ගේ චලිතය හා ඒවායේ පිහිටීම පදනම් කරගෙන අනාවැකි පළකරන ශාස්ත්‍රයටයි. ජේත්ෂ්‍යය ආරම්භ වී තිබෙන්නේ ඉන්දියාවෙන් බවයි විශ්වාස කරන්නේ,එය වසර 5000 කටත් වඩා පැරණි ශාස්ත්‍රයකි.

කෙනෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය රැදී තිබෙන්නේ ඔහු හෝ ඇය සතු උත්සාහය,ධෛර්යය,
යහපත් ගති පැවතුම් ආදිය මතයි.එහෙත් කේන්දරයද කෙනෙකුගේ ජීවිතයට වැදගත් වෙනවා.අපි හිතමු යම් කෙනෙකුගේ කේන්දරයට අනූව ඒ තැනැත්තාට අපල කාලයක් උදාවෙලා තිබෙනවා කියලා.අවශ්‍යනම් ඒ තැනැත්තාට බෝධි පූජා පැවැත්වීම,සෙත්කවි කීම ආදී ආගමික වත්පිළිවෙත්වල යෙදී එම අපලයෙන් මිදීමට හැකියාව තිබෙනවා.කේන්දරය අපේ ජීවිතය නමැති ගමනේ ඉදිරියේදී හමුවන මාර්ග බාධක පෙන්වා දෙන මාර්ග උපදේශයෙකු වගෙයි.කේන්දරයට අනූව එම මාර්ග බාධක හදුනාගෙන ඒවා මගහැර ජීවිතය නමැති ගමන සාර්ථක කරගැනීමයි වැදගත් වන්නේ.

ඔබ විය යුත්තේ...

මහත් වූ කම්කටොළු
මැදින් දිවයින
මේ දිගු ගමනේ
නොවන්නට කදෝ පැණියක්
චණ්ඩ හිරු රැසින් හීන වී යන
උත්සාහ කළ යුතුය නුඹ
ඇරඹෙන හෙට දිනේ...
වෙමු අපි සැවොම
කඨෝර නිම්නයක වුව
අභීතව නැගී සිටින
මකරන්දයෙන් පූර්ණ වූද
සැම සතන්හට
නේක ඵල ගෙන දෙන
වෘක්ෂයෝ
උදාවන හෙට දිනේ...

Saturday, February 6, 2010

මෙලෙසට සතුන් හට පමණක් ඇයි හිංසා

තිරිසන් සතුන්ගේ මස් ඇයි අප කන්නේ
මනසින් උසස් මිනිසත් බව ලැබ ඉන්නේ
සතුටින් මස් කමින් පවු ඔබ පුරවන්නේ
මෙලෙසින් රකුසු වෙස් මිනිසුනි ඇයි ගන්නේ

කිරි අම්මා ලෙසට අපහට මෙහෙකාර
කරත්තේ ඇදීමට පුතෙකුත් කරබාර
එළවළු කොරටුවට පොහොරත් දීසාර
අවසානයට මස්කඩ හිමියට බාර

තුවාල වුනොත් තරමක් අපෙ සම් රෙද්ද
විශාල රිදුම් දැවිලිද ඇති වෙන්නැද්ද
අකාලයේම සතුනට හිංසාවෙන්ද
මරලා කන්නේ ඇයි ඔබලා මිනිසුන්ද

හැමතැන වැව් පොකුණු සැම සිදිලා යනවා
තැන තැන සතුන් දිය සොයමින් ඇවිදිනවා
බදුනක වතුර දැක නිවෙසට ළංවෙනවා
තිබහට වතුර නැත මරුවට කැපවෙනවා

රූප පෙට්ටියට කළහැකි මෙහෙය

විසිපස් වසරක් වූ සියවස් හිරුකිරණ පොළෝ තලය සිපගනිද්දී අපගේ නෙත් ඇදගත් මෙය නවීන තාක්ෂණයේ තවත් අපූරු නිර්මාණයකි.මෙම අපූරු නිර්මාණය ජෝන් ලොගී බෙයා විසින් නිශ්පාදිත රූපවාහිනියයි.කළු සුදු රූපවාහිනියෙන් අරඹා වර්ණ රූපවාහිනිය දක්වා ඉතා දීර්ඝ කාලයක් පැමිණ සෑම පවුලකම සාමාජිකත්වය ලබා ඇති මහත් සේවයක් හා විශ්මයක් ලබාදුන් දෙයකි.අධ්‍යාපනය සදහා අද රූපවාහිනියෙන් සිදුවන සේවය අති මහත්ය.එමෙන්ම ලෝකයේ සිදුවන ඕනෑම දෙයක් ලෝක ප්‍රජාවට එක පුළුල් තිරයකින් ලොව ඕනෑම තැනක සිට නැරඹිය හැකි අවස්ථාව දුන්නේද රූපවාහිනියයි.ගෙදර සිට ඕනෑම දෙයක් ගවේෂණය කරමින් ගෙදර සිට ලොව වටා සංචාරය කිරීමටද අවස්ථාව සැලසුවේ රූපවාහිනියයි.විද්‍යාවේ නවතම නිර්මාණ ප්‍රයෝජනවත් වැඩසටහන් වලින් අපට දැක ගැනීමට සලස්වයි.එමෙන්ම ක්‍රීඩාවට විනෝදයට කාගෙත් සිත් යොමු කරමින් ක්‍රියාකරන අතර ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයෙන් මානවයාට මහත් ප්‍රයෝජන ලබාදෙයි.සෑම කෙනෙකුගේම හොද මෙන්ම නරකද ඇත.සෑම කන්දකම පල්ලම් ඇත.එසේම රූපවාහිනියේද අවාසි ඇත.ළමා සිත් දූෂණය කරන මත්ද්‍රව්‍යයක වැඩසටහන්,සොරකම්,ප්‍රචණ්ඩත්වය,
මිනීමැරුම්,දූෂිත චිත්‍රපටි දර්ෂණ ආදිය පෙන්නුමෙන් අද සමාජය පරිහානියට පැමිණ තිබේ.එමෙන්ම අක්ෂි දෝශයට රූපවාහිනියෙන් පිටවන විකිරණය හේතුවී ඇති බව සොයාගෙන ඇත.නමුත් රන් හංසයා කිරිත් වතුරත් වෙන් කරන ලෙස අපටද යොග්‍ය දේ පමණක් ලබාගත හැක.නරක බැහැර කොට එහි ඇති හොද සාරය උරා ගතහොත් රටෙත් අපෙත් හෙට දින ඉතා දැනුමෙන් පිරෙනු නිසැකය.

Friday, February 5, 2010

බසේ වෙනසක්

අප විවිධ ප්‍රදේශවල ජීවත් වෙනවා.එකම රටක වුවත් විවධ භාෂා භාවිතා කරනවා.සිංහල හෝ වේවා දෙමළ හෝ වේවා මේ එකම භාෂාවේ වුවත් විවිධ වෙනස්කම් තිබෙනවා.අපේ රටේ බහුතරයක් කතා කරන්නේ සිංහල භාෂාවයි.නමුත් ඇතැම් විට එක් එක් ප්‍රදේශවල අය භාෂාව භාවිතා කරනවිට සිංහල භාෂාවේම වුණත් වෙනස්කම් තිබෙනවා.මේ වෙනස්කම් තමයි භාෂාවේ ප්‍රාදේශීය ව්‍යවහාර කියන්නේ.මෙහිදී දැකිය හැකි ලක්ෂණයක් තමයි ඔබ යම් දෙයකට පාවිච්චි කරන වචනය වෙනත් ප්‍රදේශයකින් පැමිණියෙකු වෙනත් වචනයක් යොදමින් කතා කිරීම.
රුහුණු ජනවහර
රුහුණු යන පදය පැරණි රුහුණු රට සදහා භාවිතා වී ඇතත්,දකුණු පළාතේ ජනවහර සලකා බලන විට රූණ යන්නෙන් අදහස් කරන්නේ හේන් ගොවිතැන ප්‍රධාන නිෂ්පාදන මාර්ගය බවට පත්කර ගත් වනාත්තර ආශ්‍රිත ප්‍රදේශ බව පෙනෙනවා.දකුණ් වැසියාට මොනරාගල වැනි ඌව පළාතට අයත් ප්‍රදේශද රූනක් විය හැකියි.දකුණේ ජනතාවට ආවේනික වූ ජනවහරක් තිබෙනවා.මේ ව්‍යවහාරය ගිරුවා පත්තුවේ,මාගම් පත්තුවේ හා මාතර වැල්ලබඩ හා කන්දබඩ පත්තුවල,ගිරුවායට තදාසන්න ප්‍රදේශවල අදත් නොනැසී තිබෙනවා.ගාල්ලේ ඇත්තෝ මීට මදක් වෙනස් වූ වහරක්,ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම් පත්තුවේ ව්‍යවහාරයේ තවත් වෙනස්කමක් දැකිය හැකියි.රත්ගම හා බලපිටිය ප්‍රදේශවල වහරේ අමුතු බවක් දිස්වෙනවා.ඒ අමුතු බව දිස්වෙන්නේ වචනවල නොව උච්චාරන රටාවෙයි.
01).මවගේ නැගණිය - බාලම්මා,පුංචි අම්මා 02).මුත්තා - මුත්තණ්ඩි 03).ඔබ - ඔහේ 04).ඔයයි මමයි - ඔයැයිතුයි මමයි 05).නුඹ,නුඹලා - බොලා 06).ඉලන්දාරියා - ගැටයා 07).කට්ටඩියා - ඇදුරා 08).තොවිල්කාරයා - යකැදුරා 09).පුළුවන්කම ඇත්තා - ඇහැක්කාරයා 10).අමුත්තා - මෝසුවා
11).දේවාල කපුවා - ගීගන මහත්තයා,පත්තිනි මහත්වරු 12).දිවුල් - ජූල් 13).ජම්බෝල - මහනාරං,බම්බාලෝසි 14).අනෝදා - අනෝනා,අනෝල,මැන්ඩොරන් 15).බිලිං - බිංබිරි
16).නොඉදුනු පුහුලන් - කැහිගැට 17).කෙසෙල් කැන් - වතු කොනක් 18).හොද්ද - ආනම
19).මොනවටද - මක්කටෙයි 20).පරම්පරාව - සනුවරේ 21).විවාහය - හිරය 22).වැස්ස - මාරියාව
23).කුඩා කූඹියා -හින්නා 24).වල් අලියා - බොටකදා,උසනා,ගජරා 25).වලහා - ගමයා,සෝම,
දෙයියන්ගේ බල්ලා 26).කුළු හරකා / වල් මී හරකා - පැගිරා,මදයා 27).කොටියා - පොට්ටනියා,
මහරෑන්කාරයා 28).ගෝනා - කරකොලයා 29).මුවා - සුබරයා 30).වදුරා - ගස් ගෝනා

ඌව ජනවහර
ඌව ජනවහර විශේෂ ලක්ෂණ පෙන්වන වහරක් වන්නේ,එය දිගාමඩුලු ව්‍යවහාරයේත් පානම ව්ය ව්‍යවහාරයේත් ලක්ෂණ එයට මිශ්‍ර වී ඇති භාෂාවක් නිසයි.ඉහළ ඌව ලෙස හැදින්විය හැකි බදුල්ල,බණ්ඩාරවෙල,ඌව පරණගම,වැලිමඩ,පස්සර,හාලිඇළ හා වියලුව ප්‍රදේශවල පවතින බස් වහරට වඩා යම් යම් වෙනස්කම්,පහළ ඌවට අයිති ප්‍රදේශ වන වෙල්ලස්ස හා ඌව බින්තැන්නේ දැකිය හැකියි.පහළ ඌවේ බස් වහර වඩා සමීප වන්නේ ඉහළ ඌවේ ජන වහරට වඩා දිගාමඩුලු ජනවහරටයි.

01).උදේ පාන්දර - හීල් පාන්දර 02).පාන්දර - පාන්දොඩ 03).හිමිදිරිය -පානු පැය
04).තද හිරු රැස් - ඇට බගව්ව 05).ඉර බැසීම - ඉරගල වැටුණා 06).කිරි බැබළෙන හද - ගිණිබන්ඩාර හද 07).නියගය - සාක්කූලය 08).වැහිවලා - බීරන් 09).මහවැස්ස - කුලන්තරය 10).හරකා - දුයියා
11).පොල්කිච්චා - මිච්චා 12).කුකුළා - පාන්දර නැකැත්තා 13).ඉබ්බා - දිය කුකුළා 14).බල්ලා - කැටා,කූඩුවා,ඇදුරු කුක්කා 15).දුව - කෙලිගහ,කෙලී 16).පුතා - කොල්ලා,කුඩුම්බරයා 17).අහිංසකයා - ගැස්තරයා 18).කෑදරයා - කාමරස්සයා,කෑහුලා,කෑකයා 19).බත පැසීම /ඉදීම - බත සැතපෙනවා
20).වෑංජන - මාළු 21).මාළු - අමුකරවල 22).සිල්ලර බඩු - පලසිලව් 23).තුනපහේ - පන්නේ
24).පිට්ටු - පීරුම් 25).තලප - වන්නිකැට 26).විහිලු කරනවා - කොක්කට්ටන් කරනවා,කෝලිත්තම්,
තොච්චිකේලි කරනවා 27).කරදරය - පොයියංගම,කම්බිරිස්සාව 28).ඉක්මන් - කස්තරේ
29).කොතෙක් කීවත් ඉන් ඵලක් නොවීම - කියලා පරාදයි 30).යමකට අදිමදි කිරීම - පහිමුලෑම
31).බිරිය - අපේ උන්දා 32).සැමියා - අපේ ඇත්තෝ / සකියා

දිගාමඩුලු ජනවහර
වැව්ගම් පත්තුව හා බින්තැන්න පත්තුවේ ජනවහරයි.1948 ඇරඹු ගල්ඔය ව්‍යාපාරය නිසා,වැව්ගම් පත්තුවේ ගොවිජනපද ඇතිවුණා.මේවාට සංක්‍රමනය වූ ජනපදිකයන් නිසා ඒ ප්‍රදේශවල තිබුණු බස් වහර තුරන්ව ගොස් අලුත් බස් වහරක් ව්‍යාප්ත වුණා.නමුත් වැව්ගම් පත්තුවේ බස්වහර බිම්තැන්න පත්තුවෙත් ඌවට අයත් නිල්ගල කෝරළයේත් වැඩිහිටියන් අතර දකින්නට පුළුවන්.වැව්ගම් පත්තුවේ බස්වහර අනෙක්වාට වඩා වෙනස් ප්‍රශ්නාර්ථයේදී “ද ? ”නොයෙදීම.ක්‍රියා පද ව්‍යවහාර කරනවිට වවත්,කත්,සිටිත්,බලත්,කියත් යනාදී වශයෙන් බහුවචන ස්වරූපය ගැනීම.බොහෝ වචන පැරණි භාෂාවේ භාවිතා කල වචන වීම.

01).පියා - අප්පා 02).මව - මේ / මොවී 03).මවගේ මව - කිරි අම්මා 04).සැමියා - බොටා 05).නෑනා - එතනා 06).නැන්දම්මා - අම්මණ්ඩි 07).බල්ලා - කැටා 08).බළලා - කුංචා 09).සැලළිහිණියා - තඹරැණීයා 10).සමනළයා - මල්බැත්තා 11).මයිනා - ගොන්කවඩියා 12).කූඩැල්ලා - පූඩැල්ලා 13).බත් - දෙපිටඋල් 14).හොද්ද - කායම 15).කිරිඅල - කොකිස් 16).කරවල - කුඩුමස්සන් 17).පැපොල් -අඹ 18).බෝතලය - කීසාව 19).කළය - අතල 20).වෙඩි තැබීම - ගිණී බිදීම 21).තුවක්කුව - කළුමිනික්කම 22).ඔක්කාරය - ඔරවනවා 23).ලෙඩක් හැදීම - විසාදිය 24).කම්මැලි අය - සෝමාරියෝ 25).තරුණයා - ගොබිලා

පානම වහර

01).එළිය වැටෙන්නට පෙර මද ආලෝකය - හරස් එළිය 02).උදෑසන - සැහැරිය 03).හිරු - ඵලයියා 04).හද - කිලයියා 05).ගංවතුර - උගන්දිරම 06).අකීකරු මෝඩයා - විසපතලයා 07).මෝඩ ගැමියා - හිංගලයා 08).දරු දැරියන් - පැටු කුංජක් 09). කපටියා - පුඩුක්කුවා 10).ස්වභාවිකව ඇතිවන ගොවිතැන් පාළුව - අකනස්වීම 11). සාගතය - පංජම 12). සුනුසාල් - ඌසල් ඇට 13).හාමත් වෙනවා - තිරහන් දානවා 14).පලහිලව්ව - සංගදෝරුව 15).අසීමිත ලෙස දුක්වීම - පත්ති පදිරිවීම 16).නැන්දා - මාවී 17).මස්සිනා - හූරා,බොටා 18).මහළු පිරිමි - බූඩා 19).ඉගුරු - ඉරිගු 20).මාළු -කුරැය්යන් 21).වෑංජන - මාලිපිං 22).දිවුල් - මරද 23).දිවියා - දිම්බා 24).වලසා - අංකොළ මිටියා 25).ඔරොත්තු දෙනවා - තාංගු දෙනවා

උඩරට ජනවහර
මධ්‍යම පළාතේ බස්වහර උඩරට ජනවහර ලෙස හැදින්වේ.මධ්‍යම පළාතට අයිතිවන්නේ මහනුවර,
නුවරඑළිය,මාතලේ,යන දිස්ත්‍රික්කයි.හොදින් පරීක්ෂාකර බැලූවිට උඩරට ජනවහරේ ප්‍රභේදත් තිබෙනවා.මහනුවර බස්වහර,මාතලේ බස්වහර,හගුරන්කෙත බස්වහර,කොත්මලේ බස්වහර.

01).නොසැලකීම - අද්දුවන්කම 02).සංග්‍රහ කිරීම - පොහොනි කිරීම 03).ඔච්චම - කෝලිත්තම 04).ආඩම්බරවීම - ඉලන්දරවීම 05).ලැජ්ජාව - කෝන්කම 06).නින්දා - නිහිනින්දා 07).අතරමංවෙලා - කොලෑවෙලා 08).පිපාසය - කටකිරියාව 09).ගසා දමනවා - ගහිල්ලනවා 10).කෝලම් කරනවා - විලයාට්ටු කරනවා 11).උදෑසන -උදැහැනැක්ක 12).වැහි අදුර - මංඩාරම,මන්දාරම 13).අනෝරා වැස්ස - උඩදවුලා කරනවා 14).මිරිස් ගල - දාගල 15).අත්ගල - මිටුවන්ගල 16).මැටි කෝප්පය - මඩක්කුව 17).ලොකු අම්මා - මහම්මා 18).කපුවා - කේලම්කාරයා 19).ගමේ ප්‍රධානියා - ගම්මැහේ 20).හිතුවක්කාරයා - හිත්දළයා,ගුත්තා 21)මස්සිනා - වහජ්ජා 22).බිරිය - මායියා,ඇඹෙණිය,අඹුව 23).හිරු රැස් - රාස්සිගේ අව්ව,යක්ෂණීගේ අව්ව 24).ගසා දමනවා - ගහිල්ලනවා 25).වරද්ද ගන්නවා - වකුරු කරනවා.

Wednesday, February 3, 2010

පැන්සල් කොටා මගෙ ඇගමයි සූරන්නේ

පොත් බෑගයේ ‍ලොක්කා සැම අතින් මමයි
ඇදුමත් ලස්සනයි ඇතුළත් හරිම හැඩයි
පොඩිවුන් නොවැරදිම මා පාසල් ගෙන යයි
සතියෙන් දෙකෙන් මගෙ පිටු සේරම ඉවරයි

මල්වතු ගෙවතු මගෙ ඇගෙ සිත්තම් වෙනවා
පොත් පිටු පෙරළෙද්දී හරි සුවදක් එනවා
පාට පාට රූපෙන් මා හැඩ වෙනවා
ගුරුතුමියත් එයට ලොකු හයියක් දෙනවා

පුංචි පුතා පෙරළයි පිටු එකින් එක
ආසයි මාත් පෙන්නන්නට ඔහුගේ වැඩ
නංගිත් අයියාගෙ වැඩ දැක පනියි උඩ
පිටු ටික ඉවර වෙනකොට මට තමයි දුක

පුංචි පැන්සලෙන් ඇන්දම වැරදෙන්නේ
මකන යාළු වැරදුන තැන් නිතර හදන්නේ
කොච්චර මකල දැම්මත් නෑ ඉරි යන්නේ
පැන්සල් කොටා මගෙ ඇගමයි සූරන්නේ

Tuesday, February 2, 2010

නූතන ලොව

වෛරය,තරහව
ක්‍රෝධය
පිරීගිය ලොවක
සොයනු හැකිවෙයිද
සැනසීමක්
අනුන් පරයා
නැගීමට
වෙර දරන සද
දෙපා වාරු
ඇත මට
නැගී සිටින්නට
හෙලීමට වෙරදරන
හැම පරයා
දිනන්නට ලොවම

Monday, February 1, 2010

උප්පැන්න සහතිකය

මොකක්ද මේ උප්පැන්න සහතිකය,ඔබේ උපන් දිනය,උපන් ස්ථානය,ඔබේ නම,මවුපියන් කවුද ? යනාදී කරුණු ප්‍රධානව ඇතුළත් “උපත් වාර්තාව”උප්පැන්න සහතිකය ලෙස හැදින්විය හැකිය.උපත සහතික කළ යුත්තේ උපන් ස්ථානය ඇති ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි. මේ කටයුත්ත සිදුකරනු ලබන්නේ පළාතේ සිටින අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා විසිනුයි.
ලංකාවේ සිදුවන උපත් ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් මුල් කාලයේ තිබුනේ නැහැ.ජනගහනය වැඩිවීමත් සමගම මේ අවශ්‍යතාවය අපට ඇතිවුණා.ඒ නිසා බ්‍රිතාන්‍ය පාලන යුගයේ යහපත් පරිපාලනයක් සදහා උපත්,විවාහ,මරණ ලියාපදිංචි කළ යුතු බව තීරණය කර සිටියා.බ්‍රිතාන්‍ය පාලනයට පෙර එනම් ලන්දේසි යුගයේදීත් උපත්,විවාහ සහ මරණ ලියාපදිංචි කර තිබෙනවා.ඒ කාලයේ ලියාපදිංචි කළේ නගරයේ විසූ ජනතාවගේ සහ රටේ විසූ ප්‍රභූ පිරිසගේ පවුල්වල අය පමණයි.මේ සදහා ආදුරුප්පු වීදිය,ගාල්ල,යාපනය,මාතර ආදී නගරවල පිහිටි පල්ලිවල ලියාපදිංචි කිරීමේ කාර්යාල පිහිටුවා තිබුණි.මේ ආකාරයෙන් ලියාපදිංචි කිරීම ප්‍රමාණවත් නොවුණු නිසා 1822 අංක 09 දරණ රෙගුලාසියෙන් මුහුදු බඩ පළාත් වලට අයත් දිස්ත්‍රික්ක වල සිටින ස්වදේශිකයන් සහ යුරෝපීයන් නොවූවන්ගේ උපත්,විවාහ,මරණ ලියාපදිංචි කර තිබෙනවා.එදා ලියාපදිංචි කිරීමේ කටයුත්ත පැවරී තිබුණේ අද වගේ ස්ථිර රෙජිස්ට්‍රාර්වරු ලෙස එම කටයුත්ත සිදු කළා.පසු කාලීනව 1848 අංක 06 දරණ රෙගුලාසියට අනූව උඩරැටියන් සහ මුස්ලිම්වරුන්ගේ උපත්,විවාහ,මරණ ලියාපදිංචි කිරීමටත් කටයුතු කළා.ඉන්පසු 1849 දී නිකුත් කළ රෙගුලාසියේ සදහන් වූයේ ක්‍රිස්තියානි අයගේ උපත්,විවාහ,මරණ ලියාපදිංචිය සම්බන්ධව පමණයි.
මේ අයුරින් පනත් සංශෝධනය වෙමින් පැමිණ 1967 අංක 18 දරණ ආඥා පනත මගින් පොදුවේ ලංකාවේ වෙසෙන සියළුම ජනතාවගේ උපත්,විවාහ,මරණ ලියාපදිංචි කිරීමට කටයුතු කළා.එසේ ලියාපදිංචි කිරීමේ වගකීම රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත පැවරුණා.අද අපේ උප්පැන්න ආදිය ලියාපදිංචි කරන රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ආරම්භ කළේ 1964 වසරේදීය.එහි මූලික අරමුණ වූයේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කටයුතුයි.උපත්,විවාහ,මරණ ලියාපදිංචිය මේ ආයතනයට පැවරුණේ 1967 වසරේදී නිකුත් කළ ආඥා පනතක් මගිනුයි.
අද වගේ උප්පැන්න සහතික කිරීමට එකල ඒතරම් අවශ්‍යතාවයක් තිබුණේ නැහැ.රජය ඒ ගැන මිනිසුනට බල කර සිටියෙත් නැහැ.නමුත් උපත්,විවාහ,මරණ ලියාපදිංචි කිරීම නීතිමය වශයෙන් ඉතා වැදගත් දෙයක් වූ නිසා සංශෝධිත ආඥා පනතකින් ඒවා ලියාපදිංචිය අනිවාර්ය දෙයක් බවට පත් කළා.එසේම ලංකාවේ සිටින සෑම පුරවැසියෙකුම පාහේ මේ ගැන උනන්දු වුණා.උප්පැන්න සහතිකයේ අඩංගු තොරතුරු ප්‍රමාණවත් නොවීම නිසා 1975 න් පසුව වැඩිදුර විස්තර ඇතුළත් කර සහතිකය සංශෝධනය කළා.
මුල් කාලයේ උප්පැන්න සහතිකය අඩංගු වූයේ අදාළ පුද්ගලයාගේ විස්තර සමග ඔහුගේ පියා සහ මවගේ තොරතුරු පමණයි.ඒත් 1975 න් පසුව සංශෝධිත පනතක් ඇති වුණා.ඒමගින් සහතිකයේ මුත්තාගේ විස්තර හා මීමුත්තාගේ විස්තර පවා ඇතුළත් කර පුද්ගලයාගේ තවත් විස්තර ඇතුළත් කළ හැකි පරිදි සැකසුණා.1975 ට පෙර උප්පැන්න සහතිකයේ පිටපත් දෙකක් පමණයි තිබුනේ.ඉන් එකක් කොළඹ මාලිගාවත්තේ පිහිටි මධ්‍යම ලේඛනාගාරයේ තැන්පත් වුණා.අනිත් පිටපත ප්‍රාදේශීය කාර්යාලවල තබා ගත්තා.වර්ථමානයේ උප්පැන්න සහතිකයට පිටපත් 3 ක් තියෙනවා.ඉන් එකක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තිබෙන අතර අනික මධ්‍යම ලේඛනාගාරයේ තැන්පත් කරනවා.තුන්වැනි පිටපත උප්පැන්නය අයිති පුද්ගලයාට ලබාදෙනවා.
රෝහලක සිදුවු උපතකදී නම් රෝහලේ සිටින වෛද්‍ය රෙජිස්ට්‍රාර්වරයා ලියාපදිංචි කර “රෝහල් ප්‍රකාශය”නම් වූ ලියවිල්ල නිකුත් කරනවා.එහි උපත සම්බන්ධව සියළු විස්තර අඩංගු කර තිබෙනවා.එම විස්තර අනූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇති උප්පැන්න සහතික ඉල්ලුම්පත පිරවිය යුතුය.ඉන්පසු ප්‍රා.ලේ.කාර්.අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හට එය භාරදිය යුතුය.එවිට ඔහු “උප්පැන්න සහතිකයක්”අපට නිකුත් කරනවා.දරුවෙකු ගෙදරදී ඉපදුනා නම් වහාම ග්‍රාම නිලධාරියා වෙත ඒ බව දැනුම් දිය යුතුයි.ග්‍රාම නිලධාරියා ළග ඇති වාර්තාව පුරවා මව හා පියා අත්සන් කර කොට්ඨාස රෙජිස්ට්‍රාර් වෙත යැවිය යුතුයි.ග්‍රාම සේවක වාර්තාව මත රෙජිස්ට්‍රාර්වරයා උප්පැන්න සහතිකය නිකුත් කරනවා.උප්පැන්න සහතිකයේ කෙනෙකුගේ පුද්ගලික තොරතුරු සියල්ල අඩංගු වෙනවා.ඒ නිසා ජීවිතයේ සෑම අවස්ථාවකදීම තමන්ගේ තොරතුරු ඔප්පු කරන්න උපකාර වෙන්නේ උප්පැන්න සහතිකයයි.(හැදුනුම්පත සෑදීමට අවශ්‍ය මූලික ලියවිල්ලට,ගමන් බලපත්‍රය සකසා ගැනීමට,පාසලට ඇතුළත් වීමට,රැකියාවකට යාමේදී)
උප්පැන්න සහතිකයක් හදලා නැතිනම් පළමුවෙන්ම තමන්ට උප්පැන්න සහතිකයක් නැති බව අදාළ කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දිය යුතුය.එවිට එම නිලධාරින් පරීක්ෂණයක් පවත්වනවා.මෙම පරීක්ෂණයට රෝහලෙන් නිකුත් කරන විස්තර වාර්තාව සහ දෙමාපියන්ගේ කසාද සහතිකය අවශ්‍ය වෙනවා.ඒවා බලා ඒ අනූව උප්පැන්න සහතිකය නිකුත් කරනවා.ලිඛිත සාක්ෂි ඉදිරිපත් කළ නොහැකි කෙනෙකුට නම් උප්පැන්න සහතිකයක් ලබා දෙන්නේ නැහැ.ඒත් ඒ පුද්ගලයාට අනුමාන වයස,මවුපියන්ගේ විස්තර ආදිය අඩංගු කර “අනුමාන වයස් සහතිකය”නමැති ලියවිල්ල ලබා ගත හැකියි.මෙය අධ්‍යාපන කටයුතු වලට,රැකියාවකට යාමට ආදියට භාවිතා කළ හැකියි.
උප්පැන්න සහතිකය නැතිවුනොත් හෝ පළුදු වුවහොත් අපට කරන්නට තිබෙන්නේ අදාළ මුද්දර ගාස්තුව ගෙවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එහි අනු පිටපතක් ලබාගැනීමයි.මේ නිසා හැදුනුම්පත වගේම උප්පැන්න සහතිකයත් ආරක්ෂා කරගැනීම අත්‍යාවශ්‍ය‍යයි.
උප්පැන්න සහතිකයක අඩංගු තොරතුරු
01).උප්පැන්න අංකය
02).දිස්ත්‍රික්කය
03).කොට්ඨාෂය
04).උපන් දිනය හා උපන් ස්ථානය
05).නම
06).ස්ත්‍රි / පුරුෂ භාවය
07).පියාගේ විස්තර(සම්පූර්ණ නම,උපන් දිනය,උපන් ස්ථානය,ජාතිය,වෘත්තිය)
08).මවගේ විස්තර(සම්පූර්ණ නම,උපන් දිනය,උපන් ස්ථානය,ජාතිය,වෘත්තිය)
09).මවුපියන් විවාහකද යන වග
10).මුත්තා ලංකාවේ උපන්නේ නම්(මුත්තාගේ නම,උපන් ස්ථානය,උපන් වර්ෂය)
11).පියා ලංකාවේ නොඉපදී මී මුත්තා ලංකාවේ උපන්නේ නම්(මී මුත්තාගේ සම්පූර්ණ
නම,උපන් වර්ෂය,උපන් ස්ථානය)
12).උපත දැනුම් දුන් තැනැත්තාගේ සම්පූර්ණ නම,වාසස්ථානය හා කවුද යන වග
13).දැනුම් දුන් අයගේ අත්සන
14).උපත ලියාපදිංචි කළ දිනය
15).ලේකම්ගේ අත්සන
16).ලියාපදිංචි කිරීමෙන් පසුව ඇතුළත් කළ දෑ
17).එම විස්තර සැපයු අයගේ නම්
18).නම ඇතුළත් කිරීම හෝ වෙනත් නමක් යෙදුවොත්
19).දිනය
20).රෙජිස්ට්‍රාර්ගේ අත්සන
21).ඉහත සදහන් වනුයේ මෙම කාර්යාලයේ තැන්පත් කර ඇති උප්පැන්න ලේඛන සහතික
පිටපතක් බව මෙයින් සහතික කරමි.
22).දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
23).අතිරේක දිස්ත්‍රික් ලේකම් හෝ ප්‍රාදේශීය ලේකම්ගේ අත්සන
24).මෙම සහතිකයේ අඩංගු කරුණු හිතුමතයේ වෙනස් කිරීම දඩුවම් ලැබිය යුතු වරදකි.

Saturday, January 30, 2010

සිහිනය

සෙල්ලමින් සිනහවෙන් කාලය ගෙවූ
පුංචි ළමාවිය අතීතයට මුසුකර දමා
පොත් ප්‍රශ්න පත්තර
උසට උසේ මා වටකර ගොඩනගා ඇති
පවුරක් සේ මා දෙස බලා සිටී
උදයේ පාසලටත් දහවල ටියුෂන්වලටත් යටවී
රාත්‍රියද
චිමිනි ලාම්පු එළියෙන් මැටි බිත්ති හා පොල්අතු
වහලය අතරට සිරවී
කණාමැදිරි රැහැයි හඩ පමණක් ඉතිරි වූ යාමයේ
නිදිවරමින් මෙසේ වෙරදරන්නේ
අධ්‍යාපනයේ එක් කඩයිමක
දොර කවුළු විවර කර ගැනිමටද
නැතහොත්
යළිත් ඒ ගෙවූ ළමාවියේ මිහිරියාව
බොදව යන්නට නොදී
උදාකර ගැන්මටද ?

Friday, January 29, 2010

තනි වූ දැරිය


යුද කදවුරේ තනිවූ මා හට
කාත් කවුරුත් නැත බලන්නට
වෙඩි හඩට මා කොහේ යන්නද
පැල්පතේ මා සිටිමි දුකසේ

මාපියෝ වෙඩි වැදී මිය ගියේ
තනි කරවමිනි මෙලොව මං
කුසට අහරක් නැතිව කිසිදා
දිවි ගෙවමි මා කදුළු බී

අතීතයේ මා අකුරු කලහැටි
මතක නැතුවා නොවේ මා හට
නමුත් දැන් එය සිහිනයකි මට
බිදී ඇත මගේ ළමා ලෝකය

කුරිරු යුද්ධය ඉවර වීලා
සාමය දොර ළගට එනතුරු
බලා ඉන්නෙමි අැඩූ කදුලෙන්
මගේ ලෝකය යළි හැදෙනතුරු

Thursday, January 28, 2010

තේරවිලි

තේරවිලි නම් වූ ජන සාහිත්‍ය අංගය අයත් වන්නේ ජන ගී සම්ප්‍රදායටයි.ගැමි ජනතාවගේ උපතේ සිට මරණය දක්වා මුහුණ පාන අත්දැකීම් මේවායේ ඇතුළත් වෙයි.මේ අනූව තේරවිලි ජන ගීයේ උපාංගයක් ලෙසින්ද සැලකිය හැක.තේරුම් ගැනීමට අපහසු ලෙස වචන සගවා ඉදිරිපත් කිරීම ප්‍රහේලිකා හෙවත් කේරවිලි ලෙස හදුන්වයි.තෝරන්නටත්,
විසදන්නටත් ඇති දෙය තේරවිල්ලයි.බාල මහලු,උගත් නූගත්,දුප්පත් පොහොසත් කොයි කවුරුත් එකල තේරවිලිවල ආස්වාදය ලැබුවාද තේරවිලි විනෝදය සදහාම ගෙතුණු දෙයක්ම නොවෙයි.එය පණිවුඩ හුවමාරු කිරීමේ ක්‍රමයක් ලෙසද භාවිතා වුවකි.තේරවිලි,ජන ගීයේ උපාංගයකි,මුඛ පරම්පරාවෙන් පැවත එයි,කතෘත්වයක් නැත,අර්ථය සගවා ඉදිරිපත් කරයි,දස අටමත් විරිතෙන් බොහෝ තේරවිලි පබැදී ඇත,දිගම තේරවිලි පැදියට මාත්රාග 32 ක් ඇත.

තේරවිලි වර්ග

සරල තේරවිලි

කුඩා දරුවන් අතර වඩා ප්‍රසිද්ධ තේරවිලි වර්ගයයි.එයින් බොහොමයක් ඇතුළත් වන්නේ ගද්‍ය තේරවිලි වර්ගයටයි.වචනයක ශබ්දය හෝ කේරුම අනූව එයට සමාන දෙයක් කියා එය කුමක්දැයි විමසීම මෙහිදී සිදුවෙයි.
කැලේට ලිය - අරලිය
පුංචි ගෙදර දර - ගිනි පෙට්ටිය
නාන්නට බැරි විල - කරවිල
ඔක්කොගෙම මල්ලී - කොත්තමල්ලී
අම්මා හඩයි දුව පෙරලෙයි - මිරිස් ගල

තුන් තේරවිලි

ළමා වයස පසු කළ දරුවන් අතරේ ඉතා ප්‍රචලිත තේරවිලි වර්ගයකි.පරම්පරා කිහිපයක් තිස්සේ පැවත ආ තුන් තේරවිලි ගැන අපි කවුරුත් දනිමු.තමන් හා අමනාප වූ යහළුවෙකුට කෙළි කවටකම් කරන්නට ඕනෑ වූ විටද නිර්මාණය කළ තේරවිලි තිබේ.ඇතැම් අවස්ථා වල ගම් හා ප්‍රදේශ නාමද තේරවිල්ලට නගයි.ඇතැම් විට ඉංග්‍රීසි,දෙමළ වැනි භාෂාවන්ද තේරවිල්ලට එකතු වී තිබේ.තුන් තේරවිලි සදහා සෑදුනු කවිද තිබෙන අතර ඒවා සීමිතය.තුන් තේරවිල්ලක් පියවර 3 කින් යුතුය.
“කෝටු ඉලක්කය”නැමැති තුන් තේරවිල්ල විසදන්නේ මෙහෙමයි.
පළමු පියවර - කෝටු නම් දර,ඉලක්කය නම් මාන
දෙවන පියවර - දර මාන
තුන්වන පියවර - මරදාන
ගොම කටුව - පෝර උල - ඌරාපොල
මඩ කකුල - පල් ගාත - ගල්පාත
අයිස් මිටි - ඇස් කොට - කොස් ඇට
මෙහෙකාර හෝටල් - බෝයි අවන් - ආයුබෝවන්

හෝඩුවා තේරවිලි

යම් දෙයක් ගැන කුතුහලයක් ඇති කරවීමට මේ තේරවිලි සමත් වෙයි.අප අත්දකින දෙයක් පිළිබදව චිත්ත රූප මැවෙන සේ වචන කිහිපයකින් දැක්වීම මෙහිදී කෙරෙයි.
ආප්පය
උඩට ගිනිලවා මොළවා තිබෙන්නා
දෙගිනි මැදට යහනකි සරසා දුන්නා
දෙපිට තලා පොල් ලුණුලා පොවන්නා
දෙගිනි මැද යහනෙ දරුවෙක් සැතපෙන්නා

කොස් ගෙඩිය
අත්තක් උඩ බුම්මාගෙන
කටු රෙද්දක් පෙරවාගෙන
නාකි වෙලා කදුළු සලන
ලියක් සිටි තෝරනු මැන

ව්‍යංගාර්ථ තේරවිලි

එක් දෙයක් තවත් දෙයකට ආරෝපණය කර වක්‍රව තේරුම් ඉදිරිපත් කරන තේරවිලි වර්ගයකි.කවියෙන් වර්ණනා කරන දෙය තේරවිල්ලේ හෝඩුවාව බවට පත්වේ.ශබ්දය මූලික කරගෙන ද ව්‍යංගාර්ථ තේරවිලි පවතී.
ප්‍රශ්නය
ටං ටං ගාන්නා තෝරා එවාපං
ටිං ටිං ගාන්නා තෝරා එවාපං
මගවැලි පිසින්නා තෝරා එවාපං
දෙගංබඩ රජා තෝරා එවාපං
පිළිතුර
ටං ටං ගාන්නා ගෝනා නොවේදෝ
ටිං ටිං ගාන්නා ලේනා නොවේදෝ
මගවැලි පිසින්නා කුකුළා නොවේදෝ
දෙගංබඩ රජා කිඹුලා නොවේදෝ

වෙදගැට තේරවිලි

රහස් බෙහෙත් හා සංෙයා්ග ක්‍රම ඇතුළත් තේරවිලියි.මේවා අප්‍රකට වචන යොදා අදහස සගවා ඉදිරිපත් කරයි.
අක්කාගේ බෑයේ සුදු මද රැගෙන
මුත්තා ගෙනා පැන් උණුකර අනාගෙන
පත්තා කද මුවක ගෑවොත් විස බසිනා
මුත්තා පල්ල බෙහෙතකි රටට නොකියනා
හුනු ස්වල්පයක් පොල් පැණියෙන් අනා පත්තෑයා දෂ්ඨ කල ස්ථානයේ ආලේප කිරීම හොද බව මෙයින් කියවේ.

අක්ෂර ප්‍රහේලිකා සහ චිත්‍රය බන්ධන
දහම් ගැට කවි
ගණිත ගැටලු
ව්‍යවහාර ඥාන පරීක්ෂණ
රහස් භාෂා අදහස් හුවමාරු කිරීමේ ක්‍රම
තහංචි කවි

Sunday, January 24, 2010

කේන්දරය

කේන්දරය කියලා කියන්නේ කෙනෙකු මෙලොව උපත ලැබූ වෙලාවේදී ග්‍රහයන් පිහිටා තිබෙන ආකාරය අනූව සකස් කරන ලද සටහනකි.උපන් වෙලාව,දිනය හා ස්ථානය අනූව පංචාංග ලිත උපයෝගී කරගෙනයි.කේන්දරය බලා කෙනෙකුගේ වර්තමාන මෙන්ම අනාගත තොරතුරු ගැනත් දැනගන්න පුළුවන්.කේන්දර සටහනක් තිබෙන හැම කෙනෙකුටම ලග්නයක්ද අයිතියි.ලග්නය යොදාගනු ලබන්නේ රාශි චක්‍රය අනූවයි.මුළු අහසම තරු රටා 88 කට බෙදා තිබෙනවා.ඒ අතරින් තරු රටා 12 ක් රාශි චක්‍රයට අයත්ය.ඒ රාශි 12 වනුයේ,
මේෂ - එළුවෙක් නිරූපණය වේ.
වෘෂභ - ගවයෙක් නිරූපණය වේ.
මිථුන - නිවුන් සහෝදරියන් දෙදෙනෙක් නිරූපණය වේ.
කටක - කකුළුවෙක් නිරූපණය වේ.
සිංහ - සිංහයෙක් නිරූපණය වේ.
කන්‍යා - මල් කිනිත්තක් අතින් ගත් කාන්තාවක් නිරූපණය වේ.
තුලා - තරාදියක් නිරූපණය වේ.
වෘශ්චික - ගෝනුස්සෙක් නිරූපණය වේ.
ධනු - අශ්වයෙකු පිට නැගි දුනුවායෙක් නිරූපණය වේ.
මකර - මුහුදු අශ්වයෙක් නිරූපණය වේ.
කුම්භ - කළයක් අතින් ගත් කාන්තා රුවක් නිරූපණය වේ.
මීන - මාළු දෙදෙනෙක් නිරූපණය වේ.

දරුවෙකු උපදින වෙලාව අනූව නැගෙනහිර ක්ෂිතිජයේ උදාවී තිබෙන රාශිය එම දරුවාගේ ලග්නය සේ යොදාගන්නවා.උදාහරණයක් වශයෙන් දරුවෙක් දහවල් 2.00 ට උපත ලැබුවා යැයි සිතමු.එවිට එම වෙලාවේදී නැගෙනහිර ක්ෂිතිජයේ උදාවී තිබෙන රාශිය මේෂ නම් එම දරුවාගේ ලග්නය වන්නේ මේෂයි.කේන්දරය නිර්මාණය කරන්නේ ජෝතිෂ්‍යයට අනූවයි. ජේතිෂ්‍යය කියන්නේ ආකාශ වස්තූන්ගේ චලිතය හා ඒවායේ පිහිටීම පදනම් කරගෙන අනාවැකි පළකරන ශාස්ත්‍රයටයි. ජේත්ෂ්‍යය ආරම්භ වී තිබෙන්නේ ඉන්දියාවෙන් බවයි විශ්වාස කරන්නේ,එය වසර 5000 කටත් වඩා පැරණි ශාස්ත්‍රයකි.

කෙනෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය රැදී තිබෙන්නේ ඔහු හෝ ඇය සතු උත්සාහය,ධෛර්යය,
යහපත් ගති පැවතුම් ආදිය මතයි.එහෙත් කේන්දරයද කෙනෙකුගේ ජීවිතයට වැදගත් වෙනවා.අපි හිතමු යම් කෙනෙකුගේ කේන්දරයට අනූව ඒ තැනැත්තාට අපල කාලයක් උදාවෙලා තිබෙනවා කියලා.අවශ්‍යනම් ඒ තැනැත්තාට බෝධි පූජා පැවැත්වීම,සෙත්කවි කීම ආදී ආගමික වත්පිළිවෙත්වල යෙදී එම අපලයෙන් මිදීමට හැකියාව තිබෙනවා.කේන්දරය අපේ ජීවිතය නමැති ගමනේ ඉදිරියේදී හමුවන මාර්ග බාධක පෙන්වා දෙන මාර්ග උපදේශයෙකු වගෙයි.කේන්දරයට අනූව එම මාර්ග බාධක හදුනාගෙන ඒවා මගහැර ජීවිතය නමැති ගමන සාර්ථක කරගැනීමයි වැදගත් වන්නේ.

අසිරිමත් හිමිදිරිය


රිදී පැහැති වලා රොදින්
උඩට උඩු වියන් බැදන්
සුදු මල් පෙති පලස් සදා
කොයි කවුරුත් බලා හිදිත්

නිල්වන් ගිරි හිස මුදුනින්
රිදී වර්ණ රැස් විහිදා
නැගෙමින් එන හිරු දකිමින්
නෙලුම් මලේ පෙති විහිදේ

පිණි බිදු තණ මත වැටිලා
හිරු රැස් දැක සිනහ සලයි
සේපාලිකා මල් දෙක තුන
ගිලිහී නිල් තණ මත වැටෙයි

දං ඕවිට පදුරු මතින්
දෙමලිත්තෝ රෑන් හඩ තලති
ගංගා ඇළ දොළ අතරේ
දණ්ඩි පැටව් වරල් ගසති

උදළු පොඩිය කර තියාන
ගොවියෝ කුඹුරට ඇදෙත්
සුදු කොක් රැළ මෙන් දරුවෝ
ගුරු ගෙදරට පා නගත්

ආදර මගේ අම්මා


දුර ඈතක ගුවන් ගැබේ
සිනහ සලන සදක් වගේ
අපේ ලොවට මලක් වගේ
ආදර අපේ අම්මා

රෑ වුණාම කවි කියලා
නැලෙව්වාලු අපෙ අම්මා
රන් කිරි අපට පොවලා
අප හැදුවේ අපෙ අම්මා

ලස්සන මල් එකතු කරලා
එකිනෙක ගෙන අමුණලා
ඔබේ ගෙලේ පළදින්නම්
ආදර අපෙ අම්මේ

ගෙදර බුදුන් අම්මා යැයි
බුදු හිමියනුත් කිව්වේ
දෙපා වදිමි දස මාසේ
මතක් කරලා හැම කාලේ

Saturday, January 23, 2010

නිමිති

ඉදිරි අනාගතයේදී මෙය ඉතා කෙටි කාලපරිච්චේදයක් හෝ දිගු කාලපරිච්චේදයක්ද විය හැක.සිදුවීමට නියමිත දෙයක් ගැන කල් තබා අනාවැකි පළකිරීමට පාදක කරගන්නා සත්වයෙකු හෝ ශාකයක් හෝ වෙනයම් ලක්ෂණයක් “නිමිත්ත”ලෙස සරලව හැදින්විය හැකිය.එසේම එක් එක් ක්ෂේත්‍රයට අදාළ නිමිතිද ඇත.එනම් කෘෂිකර්මාන්තයට අදාල නිමිති,ධීවර කර්මාන්තයට අදාල නිමිති,නිවාස හා වෙනයම් ඉදිකිරීම් පිළිබදව නිමිති ආදී වශයෙනි.
දිය හෝ කිරි පිරි බදුනක් ගත් අයෙකු පෙර මගට හමුවන්නේ නම් එය යන ගමන ඉතා සුභ ඵල දෙන නිමිත්තක් බවට ප්‍රබල විශ්වාසයක් පවතී.
ගමනක් යන විට ඉදුනු කෙසෙල් කැනක් හෝ කෙසෙල් ඇවරියක් ගත් අයකු හමුවන්නේ නම් එය ගමන සුභ වන බවට නිමිත්තකි.
ගමනක් පිටත් වීමට සූදානම්ව පෙර මගට පා තබත්ම ලේනකු හැඩුවේ නම් එය සුභ නිමිත්තකි.
ගමනක් පිටත්වීමේදී පොල් මලක් අතින් ගත් අයකු ඉදිරියට හමුවූයේ නම් එයද අදාල ගමනට සුභ නිමිත්තකි.
ගමනක් පිටත් වන විටම බල්ලෙකු පාර හරහා යන්නේ නම් එය සුභ නිමිත්තකි.
උදෑසන කිරි ගසක් දක්නට ලැබීමද සුභ නිමිත්තකි.
ගෙවත්තේ ගසක,නිවසේ යට ලීයේ හෝ මීයක් බැන්දොත් එය නිවැසියන්ට සුභ ඵල දනවන බවට නිමිත්තකි.
නිවසට ගේ කුරුල්ලන් පැමිණීම හෝ එම නිවසේ ගේ කුරුල්ලන් කූඩුවක් තනාගැනීම හෝ නිවැසියන්ට එම නිවසට සුභ ඵල ලැබෙන බවට නිමිත්තකි.
පූජනීය ස්ථානයන්හි බඹර බැදීම සුභ නිමිත්තක් සේ අතීතයේ සිට සැලකේ.
ගමනක් යන විට නාගයකු පෙරමගට මුණගැසීම සුභ නිමිත්තක් ලෙස සැලකේ.
ගමනක් පිටත් වන විට හූනෙකු චූක් චූක් ගෑමද,බල්ලෙකු කන්පට ගැසීමද අසුභ නිමිති සේ සැලකේ.
නිවසට වවුලන් පැමිණීමද අසුභ නිමිත්තකි.
උලලේනා කෑ ගැසීම ගමටම අසුභ නිමිත්තක් සේ ගැමියෝ විශ්වාස කරති.
ගමනක් යන විට පෙරමගට ගැරඩියෙකු හමුවීම එම ගමන නිෂ්ප්‍රයෝජන වන බව කියාපාන අසුභ නිමිත්තකි.
නිවස ඉදිරියේ ඇති ගසක අත්තක වසා සිටින කෑරලකු හැඩීම අසුභ නිමිත්තකි.
නිවසක වහලයේ දෙබරයක් හෝ බඹරයක් හෝ බැදීම ඒ නිවැසියන්ට අසුභ ඵල ගෙන දෙන්නකි.
නිවස තුළ වේයන් හුඹස් බැදීම අසුභ නිමිත්තකි.
කබරයෙකු නිවස තුළට පැමිණීම ඉතාම අසුභ නිමිත්තක් වශයෙන් ගැමියෝ සලකති.
පොල්කිච්චෙකු නිවසට ඒම හා අමිහිරි නාදයෙන් කෑ ගැසීම නිවැසියන්ට අසුභ නිමිත්තක් ලෙස සැලකේ.
නිවසක වූ කූඩුවක් අතහැර ගේ කුරුල්ලන් නිවසෙන් ඉවත්ම යෑම අසුභ නිමිත්තකි.
ගසක දිරාගිය අත්තක සිට කපුටකු කෑ ගැසීම අසුභ නිමිත්තකි.
ගමනක් පිටත්ව යන විට බල්ලෙකු පෙරටම පැමිණීම නම් එම ගමන සුභ නොවන සේ සැලකේ.එසේම එසේ හමුවන බල්ලා කළු පාට නම් එය ගමන ඉතා අසුභ බවට නිමිත්තකි.
බල්ලන්ගේ උඩ බිරුම හා තිරිසන් රංචු වශයෙන් කෑ ගැසීමද අසුභ නිමිත්තකි.
සීසෑම ආරම්භ කරගෙන යන විට කිරි ඉබ්බෙක් හමුවුනොත් එය ඉදිරි කන්නය යහපත් වන බවට සුභ නිමිත්තක් වශයෙන් ගොවියෝ සලකති.
සීසෑමට යොදාගන්නා ගවයන් ගොවියාගේ පා ලෙවකෑම ඉදිරි කන්නය සරුවන බවට නිමිත්තකි.
පැසුණ ගොයමේ පිළිල හටගැනීම සුභ නිමිත්තකි.
උදෑසන කිරි එළදෙනක් දැකීම සුභ නිමිත්තකි.
තනි සුදු පාට වසු පැටවෙකු ලැබීම ගව පට්ටියට සුභ නිමිත්තකි.
ගව පට්ටියේ ගවයෙක් කොටියෙකු විසින් ඩැහැගෙන යන ලද්දේ නම් එය ගව පට්ටියට හා නිවැසියන්ට අසුභ කාලයක් එළඹෙන බවට නිමිත්තකි.
හොදින් නිදාගෙන සිටින බල්ලෙකු හදිසියේ අවදි වී 3 වරක් උඩ බිරුවොත් එය වසංගතයක් පැමිණීමේ හෝ මරණයක් සිදුවීමේ නිමිත්තක් වශයෙන් සලකති.
බල්ලා නිවසේ එහේ මෙහේ යමින් දොර ජනෙල් ආදිය පහුරුගාන්නේ නම් එය වැසි කුණාටුවක් ළග එන බවට නිමිත්තකි.

Friday, January 22, 2010

ඔබ විය යුත්තේ...

මහත් වූ කම්කටොළු
මැදින් දිවයින
මේ දිගු ගමනේ
නොවන්නට කදෝ පැණියක්
චණ්ඩ හිරු රැසින් හීන වී යන
උත්සාහ කළ යුතුය නුඹ
ඇරඹෙන හෙට දිනේ...
වෙමු අපි සැවොම
කඨෝර නිම්නයක වුව
අභීතව නැගී සිටින
මකරන්දයෙන් පූර්ණ වූද
සැම සතන්හට
නේක ඵල ගෙන දෙන
වෘක්ෂයෝ
උදාවන හෙට දිනේ...

Wednesday, January 20, 2010

ගෙවී යන පාසල් කාලය


කර වටා අත දමාගෙන
සොදුරු බස් කියමින්
ලපටි සිනා පොඩි
විසුර විසුර
ගත කළ පාසල්
ළමා විය
සිහිනයක් බදුව
ගෙවෙන්නට
ළංව ඇවිදින්ය
පුංචි ඇස් දෙකෙහි
කදුළු පුරවගෙන
හැර යන්නට
බැහැ මට
මිතුරනි ඔබ
සැමම.....
ගත කළ පාසල් විය
සැමදා ජය ගන්නට
වැර දරමු.....
මුළු හදින්ම.....

නිදහස

රැකදෙන්න දෙස බස ද රැස
නූපන් පරපුරට
ගැටී අසිපත්
වැටී රණ දෙරණ මත
තෙමා සියොළග
රත් රුහිරයෙන්
පෙර පරපුරක්
එක්ව එක් සිත්ව
හදවතින් පණ පෙවූ
නිවහල් දේශයක
උදාන ගීතයයි...

Tuesday, January 19, 2010

නින්ද

දවසේ විරාමය
තබනට හැම දනෝති...
පිවිසෙයි ඇද ළගට
අඩුකර හිසේ බර...
ලස්සන පුන්සිසි හිනැහෙන
සොදුරු රැය...
ඔබහට භාරකරවිය එහි
ගත කෙරුව...
මේ ගත කෙරුමෙ අවසානය
හිමිදිරිය...

පාට...

අම්මේ පොඩ්ඩක් මෙහෙට
එන්නකෝ ඉක්මනට
පොඩි දෙයක් තියෙනවා
මට ඔබෙන් අහගන්න

අම්මේ අද අපේ ටීචර්
පාට ගැන ඉගැන්නුවා
දෙක තුනක් පාට ගැන
කිව්වේ නැත්තේ මොකද ?

ආච්චිගේ පින් පාට
හරි ආදරේ හිතෙන
මාමාගෙ වස පාට
දකිනකොට බය හිතෙන

ටොමියගේ නපුරු පාට
කට වටේ කළු ගැහුණ
ටීචර් දන්නව නේද මටත්
වැඩියෙන් හොදට

පණ්ඩිතයි කියලා මට
බනින්නට නම් එපා
රවන කොට අම්ම හරි
නපුරු පාටයි තමා

Monday, January 18, 2010

පිළිගැනීම

රුක් දෙවියන් සිපගෙන සිටින
තුෂර බිදු
මුතු ඇට මෙන් දිළිසෙන මේ
මනහර උදෑසනේ,
දසතින් ඇසෙන රතිඤ්ඤා හඩ
සමග මිනිසුන් ප්‍රීති ඝෝෂා නගද්දී
ඉතා මිහිරි ලෙස අප දෙසවන
වැටෙන
විහගුන් ගේ ගී රාවය,
දෙවන සහස්‍රයේ නවවන වසර
වන ඔබ
පිළිගන්නට වයන ගීයක් වැනිය
දෙදහස් නවය අවසානයේ
අප අබිමුවට එන
දෙදහස් දහය
සාදරෙන් අප නිවසට
පිළිගන්නා බව
සුමුදු වළාකුළක
රන්වන් අකුරින්
ලියා තබමි.....

පුතුනි රාහුල


සුදු පිරුවටින් ගත සරසවා
කුලගෙයට සමු දී
මව්පිය අවසරය ගෙන
සවන් පිනවන ඝණ්ඨා නාද
සිත් සනසන සදහම් සුවද
පියනැගුවා සොයමින්
රන්වන් පාටින් බැබළුණ බෝ සමිදු අභියසට
කෙස් වැටිය දන් දී
කහවන් සිවුරක් ගත පොරවාගෙන
බුදු රදුන් වැඩි මග පියමනින්න
සසුනට එක් වුනා තවත් රාහුල පුතෙක්
ඉදින් මතුවටත් නුඹ මට පුතෙක් නොව
මුළු මහත් බෞද්ධයන්ට ම පුංචි හාමුදුරුනමක්
එතෙරව සසර අනෙක් අයත් මුදවන්න දුකින්
ඒ පිනම ඇති බුදු පුතේ
මව් සෙනෙහස බැති බරින් පාරමී පුරා
එතෙර වන්නට බව කතර.....

Sunday, January 17, 2010

පොඩි සාදු


කහ සිව්රක පැහැය වගෙයි
දාස්පෙතියා මල් පිපුණු යාය
නිල් තුරුලිය සුළගේ වැනෙයි
පොඩි සාදුට පවන් සලා

ඈත මෑත තණ පිටියේ
දුවලා පනින පොඩි ඈයෝ
එල්ලේ ගහපු ඒ කාලේ
මැවී පෙනෙයි පොඩි සාදුට

අම්මට වැද පොත් මිටිය අරන්
පිම්මේ දුවපු ඒ කාලේ
ඒත් අනේ අම්මා අක්කා
වැදලා එන්න නම් බෑ ආයේ

බුදු සාදුගේ බණ පදයයි
පන්සල් වත්තම පාළුයි
බෝ කොළ සිලියේ වැනෙයි
පොඩි සාදුට කදුළු නැගෙයි

Saturday, January 16, 2010

යුද බිමේ සටහනක්

හිරු කුමරා
ශෝකාග්නිය
දසන්තයේ විහිදෙමින්
මුහුදේ ගිලී ගොස්
දැඩි අන්ධකාරය
මුළු ලොවෙහි රජ කරනා
නිමේෂයක.....
වෙඩි හඩට එපා
තිගැස්සෙනු
නංගියේ.....
කෙලි සෙල්ලමින් සිටි
නුඹේ පාසල
බිමට පතිත වී.....
කොහිද නුඹේ
යෙහෙළියන්.....
නාඩන් නංගියේ.....
පතමු අපි එක්ව
නැවත මෙවැනි වූ
කුරිරු යුද්ධයක්
ඇති නොවේවා කියා.....

Friday, January 15, 2010

වන සිරියයි කදුකරයයි

වන සිරියයි - කදුකරයයි
නිල් ජලයයි - දිය ඇල්ලයි
වන සතුන්ගෙ - රජ දහනයි
මේ කවි වනයක සිරියයි

ගලා බසින පිරිසිදු දිය දහරයි
පිපී සුවද දෙන වනමල් පොකුරයි
අහිංසක වූ මුව ගෝනුන් රෑනයි
වනයක අසිරිය මේ ලෙස පවසයි

සුසිනිදු සුළගක් ඇග දැවටෙන්නේ
වන මල් තාලෙට පිපී නටන්නේ
සමනල රෑනක් මල් පැණි බොන්නේ
වනයේ සොදුරු බව මින් කියැවෙන්නේ

Thursday, January 14, 2010

සිතුවිලි සයුර

රුවක් දිදුලයි නෙතග අබියස
පැතුම් කුසුමන් දෝත පුරවා
මතක සුවදයි නැවුම් දිවියක
සිහින ඡායා ඈත මැවිලා
අහිමි තිළිණය සමරු සටහන්
හදේ පත්ඉරු අතර රැදිලා
සොවින් සුසුමක් මුවින් ගිලිහෙයි
නොනිමි සිතුවිලි දෝර ගලලා

Tuesday, January 12, 2010

සොදුරු සිහිනයකි මට

නිල් අහස් තලයද
දේදුන්නේ සතු වර්ණයද
පුෂ්පලත්වන්ගේ මනහර පෙනුමද
මාගේ දෙනෙතින්
දැකුමට වරම් නොමැතිද
මා හට
කදුලින් පිරි මාගේ දෙනෙතට
හසරැල්ලක් කවදා ලැබේවිද
තනිකම පාළුව මකනා
මාගේ හැරමිටියට
සදා ණයගැතියි
මා
මවු කුස පිළිසිද ගත් දා සිට
ජීවිත පුරාවටම
ආලෝකය මට සොදුරු
සිහිනයක් පමණි

Monday, January 11, 2010

බුදු පුතෙක් වෙන්නෙමි මම...

සැම දිනකම හිමිදිරියේ කසා වතත් පොරවාගෙන
පිඩු සිගා වැඩි සාදු දිහා
බලන් හිටියේ මම සතුටින්

ශාන්ත සන්සුන් ගමනින්
දෙනෙත බිමට යොමු කරමින්
වඩිනා පොඩි සාදුට
ආසා සිතුණා මා හට

ඇතුළු වුණොත් පැවිදි බිමට
අම්මා නම් අඩන්නෙපා
පන්සලෙ වැඩ සිටියත් මම
අම්ම බලන්න එනවාමයි

මල්ලිට පලු කඩල දෙන්න
කවුරුත් නැති වුනත් ගෙදර
මහතුන්ට කිව්වම මම
එයා පලු කඩලා දෙයි

පෝය දාට බණ ගෙයි හිද
සැමදෙනාට බණ කියන්න
අමා දියෙන් ලොව නැහැවීමට
බුදු පුතෙක් වෙන්නෙමි මම

Sunday, January 10, 2010

ඇතුවත් බැරි නැතුවත් බැරි English

මම ශ්‍රී ලාංකිකයෙක්.මට හිතුනා ශ්‍රී ලංකාවෙ ඉංග්‍රීසි වලට මොකද වෙලා තියෙන්නෙ කියලා පොඩ්ඩක් විපරම් කරලා බලන්න.ශ්‍රී ලංකාවෙ අපි හුගක් වෙලාවට අමාරුවෙ වැටෙන එකම තැන තමයි මෙ ඉංග්‍රීසි ඉතින් ඇයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ.මේක ටිකක් ලොකු ප්‍රශ්නයක්.මට හිතෙන විදියට නම් මේ ප්‍රශ්නෙට මුල කිසිම හරයක් නැති ඉංග්‍රීසි ටියුෂන් පන්ති කලාව.ලංකාවෙ අධ්‍යාපන ක්ෂේත්‍රය ගත්තොත් එක් විශයකට අදාල වැඩිම ගුරුවරු සංඛ්‍යාවක් ඉන්න විශය තමයි ඉංග්‍රීසි.නමුත් අපිට තාමත් බැරිත් ඉංග්‍රීසි.මට මතක විදියට මම 1 වසරේ ඉදන්ම ඉංග්‍රීසි පන්ති ගියා.නමුත් තාමත් ඉංග්‍රීසි බැහැ.මොකද ඒකට හේතුව මට දැන් ඉංග්‍රීසි එපා වෙලා.විද්‍යා පීඨ කියලා ජාතියක් තියෙනවා.ඕවයේ ඉන්න තරමක් ඉන්නේ ඉංග්‍රීසි ගුරුවරු.ඕවයෙන් බිහිවන ඉංග්‍රීසි ගුරුවරු මාස දෙක තුනකට සැරයක් අපේ ඉස්කෝල වලට එනවා.වැඩි හරියක්ම මිස්ලා.මොනවද අරන් එන්නේ.සුදු සාරිය ඇදලා 1 පන්තියේ 2 පන්තියේ ඉංග්‍රීසි වචන ටිකක් ලියපු කාඩ්බෝඩ් කෑලි ටිකකුයි ක්ලේ ගුලි ටිකකුයි.පන්තියට ආපු ගමන් උදේද දවල්ද රෑද කියලා නැහැ good morning කියලා අර ගෙනාපු කාඩ්බෝඩ් ටිකයි ක්ලේ ගුලි ටිකයි අරගෙන සෙල්ලම් කරන්න පටන් ගන්නවා.අනේ ඉතින් අපිත් බලන් ඉන්නවා.period එකකට විනාඩි 45 නේ.ඉතින් ඕක ඉවර වෙච්ච ගමන් good bye කිව්වා ගියා.ආයි ආත්මෙකට දකින්න හම්බවෙන්නේ නැහැ.ඉතින් ඔහොම මාසෙකට සැරයක් අළුත් කට්ටියක් ඇවිල්ලා ඒගොල්ලන්ගේ පුහුණුවීම් කරහම අපිට හුලං තමයි.ඉතිං ඊට පස්සේ අපි මොකද කරන්නේ ?ඉස්කෝලේ ඉංග්‍රීසි උගන්නන්නේ නෑ කියලා ටියුෂන් පන්තියකට යනවා.ගිය ගමන් මොකක්ද Tenses.ගොඩක් වෙලාවට පන්තිය කවදහරි ඉවර වෙනකනුත් Tenses.ඉතින් ඕක හරියන්නේ නැති නිසා අපි තව පන්තියකට යනවා.අනේද කියන්නේ කියලා වැඩක් නැහැ ඒකෙත් එහෙම්මමයි.ඉතින් අපි තාමත් ඉංග්‍රීසිසි class යනවා.අපිට තාමත් පුළුවන් Tenses විතරයි.නමුත් කතා කරන්න ගියොත් වචනයක් කතා කරගන්න බැහැ.
සිංහල අපිට ඉංග්‍රීසිසි අත්‍යාවශයමද ?
ඔව් අනිවාර්යෙන්ම.අපිට කොතන ගියත් ඉංග්‍රීසි ඕන වෙනවා,කඩේකට ගියත්,බැංකුවට ගියත්,රැකියාවකට ගියත්...හැබැයි මෙහෙම දෙයක් තියෙනවා,සමහර කට්ටියක් ඉන්නවා සිංහලකම ගැන බරටම කතා කරන.අපි මොකටද ? සුද්දන්ගේ ඉංග්‍රීසිස වලට ඔළුව නමන්නේ අපි අපේ සිංහලෙන්ම වැඩ කරමුකො‍් කියලා.නමුත් සිංහල කියන්නේ දැන් ලෝකේ වදවීගෙන යන භාෂා වලින් එකක්.ඒ වගේම තමයි ඔය කියන තරම් දෙයක් එක පාරටම කරන්නත් බැහැ.මං හිතන විදියට මේ ආත්මෙකට කරන්නත් බැහැ.
හැබැයි අපිට එක දෙයක් කරන්න පුළුවන්.
මොකක්ද ඒ ?
ඒ තමයි අපේ නිෂ්පාදන නව නිර්මාණ ලෝකෙට අපේ නමින් අපේ දෙයක් විදියට ඉදිරිපත් කිරීම.ඒ තුලින් ලෝකය තුල සිංහලකමට යම් වටිනාකමක් දිය හැකි වෙයි කියන එක තමයි මගේ විශ්වාසය.එහෙම නැතුව අපිට ඉංග්‍රීසි එපා සිංහල විතරයි ඕන කිය කියා සටන් පාඨ කියන එක නෙමෙයි.එහෙම වුනොත් මුකුත් නෙමෙයි වෙන්නේ සිංහලකම වෙනුවෙන් කෑගැහුවා කියලා ඉතිහාසගත වෙන එක විතරයි.
මගේ අදහස
අනාගතය ස්පර්ශ කරන්න ලොවම පිළිගත් ඉංග්‍රීසි භාෂාව අත්‍යාවශයයි.ඒකත් ඉගෙන ගත්ත කියලා අපිට පාඩු නැහැ.එහෙම ඉදගෙන සිංහල අපි අපේකම වෙනුවෙන් අපේ යමක් ලොවට ඉදිරිපත් කිරීමයි වඩාත් උචිත යන්නයි මගේ හැගීම.

Saturday, January 9, 2010

මගේ ආදරය…


එක් දිනක් මා නෙත ගැටුණ
ඔබ කවුරුන්ද ?.....
සිනාසෙන ඒ දෙනෙත අයිති
නුඹ කවුරුන්ද ?.....
දැනගතින මා හා නුඹ
කතාකල ඒ මොහොත
පිබිදි නව හැගුම් මැද
ඉගි කලේ නුඹ නේද ?.....
මා හදේ ලැගුම් ගත්
නුඹ මගේ මයි නේද ?.....

අනේ මන්දා…

full අවුල්,Blog එකක් නම් පටන් ගත්තා.ඒ වුනාට අනේ මන්දා…,ඒ ගැන මෙලෝ idea එකක් නැහැ.මොනවා කරන්නද කියලා හිතාගන්න බැහැ. ඒ වුනාට ඉතින් මොනවා හරි කරන්නත් එපැයි නේද ?එහෙනම් අපිත් හෙට ඉදන් බලමුකෝ මොකක්ද මේ story එක කියලා .