Tuesday, February 2, 2010

නූතන ලොව

වෛරය,තරහව
ක්‍රෝධය
පිරීගිය ලොවක
සොයනු හැකිවෙයිද
සැනසීමක්
අනුන් පරයා
නැගීමට
වෙර දරන සද
දෙපා වාරු
ඇත මට
නැගී සිටින්නට
හෙලීමට වෙරදරන
හැම පරයා
දිනන්නට ලොවම

Monday, February 1, 2010

උප්පැන්න සහතිකය

මොකක්ද මේ උප්පැන්න සහතිකය,ඔබේ උපන් දිනය,උපන් ස්ථානය,ඔබේ නම,මවුපියන් කවුද ? යනාදී කරුණු ප්‍රධානව ඇතුළත් “උපත් වාර්තාව”උප්පැන්න සහතිකය ලෙස හැදින්විය හැකිය.උපත සහතික කළ යුත්තේ උපන් ස්ථානය ඇති ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි. මේ කටයුත්ත සිදුකරනු ලබන්නේ පළාතේ සිටින අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා විසිනුයි.
ලංකාවේ සිදුවන උපත් ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් මුල් කාලයේ තිබුනේ නැහැ.ජනගහනය වැඩිවීමත් සමගම මේ අවශ්‍යතාවය අපට ඇතිවුණා.ඒ නිසා බ්‍රිතාන්‍ය පාලන යුගයේ යහපත් පරිපාලනයක් සදහා උපත්,විවාහ,මරණ ලියාපදිංචි කළ යුතු බව තීරණය කර සිටියා.බ්‍රිතාන්‍ය පාලනයට පෙර එනම් ලන්දේසි යුගයේදීත් උපත්,විවාහ සහ මරණ ලියාපදිංචි කර තිබෙනවා.ඒ කාලයේ ලියාපදිංචි කළේ නගරයේ විසූ ජනතාවගේ සහ රටේ විසූ ප්‍රභූ පිරිසගේ පවුල්වල අය පමණයි.මේ සදහා ආදුරුප්පු වීදිය,ගාල්ල,යාපනය,මාතර ආදී නගරවල පිහිටි පල්ලිවල ලියාපදිංචි කිරීමේ කාර්යාල පිහිටුවා තිබුණි.මේ ආකාරයෙන් ලියාපදිංචි කිරීම ප්‍රමාණවත් නොවුණු නිසා 1822 අංක 09 දරණ රෙගුලාසියෙන් මුහුදු බඩ පළාත් වලට අයත් දිස්ත්‍රික්ක වල සිටින ස්වදේශිකයන් සහ යුරෝපීයන් නොවූවන්ගේ උපත්,විවාහ,මරණ ලියාපදිංචි කර තිබෙනවා.එදා ලියාපදිංචි කිරීමේ කටයුත්ත පැවරී තිබුණේ අද වගේ ස්ථිර රෙජිස්ට්‍රාර්වරු ලෙස එම කටයුත්ත සිදු කළා.පසු කාලීනව 1848 අංක 06 දරණ රෙගුලාසියට අනූව උඩරැටියන් සහ මුස්ලිම්වරුන්ගේ උපත්,විවාහ,මරණ ලියාපදිංචි කිරීමටත් කටයුතු කළා.ඉන්පසු 1849 දී නිකුත් කළ රෙගුලාසියේ සදහන් වූයේ ක්‍රිස්තියානි අයගේ උපත්,විවාහ,මරණ ලියාපදිංචිය සම්බන්ධව පමණයි.
මේ අයුරින් පනත් සංශෝධනය වෙමින් පැමිණ 1967 අංක 18 දරණ ආඥා පනත මගින් පොදුවේ ලංකාවේ වෙසෙන සියළුම ජනතාවගේ උපත්,විවාහ,මරණ ලියාපදිංචි කිරීමට කටයුතු කළා.එසේ ලියාපදිංචි කිරීමේ වගකීම රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත පැවරුණා.අද අපේ උප්පැන්න ආදිය ලියාපදිංචි කරන රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ආරම්භ කළේ 1964 වසරේදීය.එහි මූලික අරමුණ වූයේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කටයුතුයි.උපත්,විවාහ,මරණ ලියාපදිංචිය මේ ආයතනයට පැවරුණේ 1967 වසරේදී නිකුත් කළ ආඥා පනතක් මගිනුයි.
අද වගේ උප්පැන්න සහතික කිරීමට එකල ඒතරම් අවශ්‍යතාවයක් තිබුණේ නැහැ.රජය ඒ ගැන මිනිසුනට බල කර සිටියෙත් නැහැ.නමුත් උපත්,විවාහ,මරණ ලියාපදිංචි කිරීම නීතිමය වශයෙන් ඉතා වැදගත් දෙයක් වූ නිසා සංශෝධිත ආඥා පනතකින් ඒවා ලියාපදිංචිය අනිවාර්ය දෙයක් බවට පත් කළා.එසේම ලංකාවේ සිටින සෑම පුරවැසියෙකුම පාහේ මේ ගැන උනන්දු වුණා.උප්පැන්න සහතිකයේ අඩංගු තොරතුරු ප්‍රමාණවත් නොවීම නිසා 1975 න් පසුව වැඩිදුර විස්තර ඇතුළත් කර සහතිකය සංශෝධනය කළා.
මුල් කාලයේ උප්පැන්න සහතිකය අඩංගු වූයේ අදාළ පුද්ගලයාගේ විස්තර සමග ඔහුගේ පියා සහ මවගේ තොරතුරු පමණයි.ඒත් 1975 න් පසුව සංශෝධිත පනතක් ඇති වුණා.ඒමගින් සහතිකයේ මුත්තාගේ විස්තර හා මීමුත්තාගේ විස්තර පවා ඇතුළත් කර පුද්ගලයාගේ තවත් විස්තර ඇතුළත් කළ හැකි පරිදි සැකසුණා.1975 ට පෙර උප්පැන්න සහතිකයේ පිටපත් දෙකක් පමණයි තිබුනේ.ඉන් එකක් කොළඹ මාලිගාවත්තේ පිහිටි මධ්‍යම ලේඛනාගාරයේ තැන්පත් වුණා.අනිත් පිටපත ප්‍රාදේශීය කාර්යාලවල තබා ගත්තා.වර්ථමානයේ උප්පැන්න සහතිකයට පිටපත් 3 ක් තියෙනවා.ඉන් එකක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තිබෙන අතර අනික මධ්‍යම ලේඛනාගාරයේ තැන්පත් කරනවා.තුන්වැනි පිටපත උප්පැන්නය අයිති පුද්ගලයාට ලබාදෙනවා.
රෝහලක සිදුවු උපතකදී නම් රෝහලේ සිටින වෛද්‍ය රෙජිස්ට්‍රාර්වරයා ලියාපදිංචි කර “රෝහල් ප්‍රකාශය”නම් වූ ලියවිල්ල නිකුත් කරනවා.එහි උපත සම්බන්ධව සියළු විස්තර අඩංගු කර තිබෙනවා.එම විස්තර අනූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇති උප්පැන්න සහතික ඉල්ලුම්පත පිරවිය යුතුය.ඉන්පසු ප්‍රා.ලේ.කාර්.අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හට එය භාරදිය යුතුය.එවිට ඔහු “උප්පැන්න සහතිකයක්”අපට නිකුත් කරනවා.දරුවෙකු ගෙදරදී ඉපදුනා නම් වහාම ග්‍රාම නිලධාරියා වෙත ඒ බව දැනුම් දිය යුතුයි.ග්‍රාම නිලධාරියා ළග ඇති වාර්තාව පුරවා මව හා පියා අත්සන් කර කොට්ඨාස රෙජිස්ට්‍රාර් වෙත යැවිය යුතුයි.ග්‍රාම සේවක වාර්තාව මත රෙජිස්ට්‍රාර්වරයා උප්පැන්න සහතිකය නිකුත් කරනවා.උප්පැන්න සහතිකයේ කෙනෙකුගේ පුද්ගලික තොරතුරු සියල්ල අඩංගු වෙනවා.ඒ නිසා ජීවිතයේ සෑම අවස්ථාවකදීම තමන්ගේ තොරතුරු ඔප්පු කරන්න උපකාර වෙන්නේ උප්පැන්න සහතිකයයි.(හැදුනුම්පත සෑදීමට අවශ්‍ය මූලික ලියවිල්ලට,ගමන් බලපත්‍රය සකසා ගැනීමට,පාසලට ඇතුළත් වීමට,රැකියාවකට යාමේදී)
උප්පැන්න සහතිකයක් හදලා නැතිනම් පළමුවෙන්ම තමන්ට උප්පැන්න සහතිකයක් නැති බව අදාළ කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දිය යුතුය.එවිට එම නිලධාරින් පරීක්ෂණයක් පවත්වනවා.මෙම පරීක්ෂණයට රෝහලෙන් නිකුත් කරන විස්තර වාර්තාව සහ දෙමාපියන්ගේ කසාද සහතිකය අවශ්‍ය වෙනවා.ඒවා බලා ඒ අනූව උප්පැන්න සහතිකය නිකුත් කරනවා.ලිඛිත සාක්ෂි ඉදිරිපත් කළ නොහැකි කෙනෙකුට නම් උප්පැන්න සහතිකයක් ලබා දෙන්නේ නැහැ.ඒත් ඒ පුද්ගලයාට අනුමාන වයස,මවුපියන්ගේ විස්තර ආදිය අඩංගු කර “අනුමාන වයස් සහතිකය”නමැති ලියවිල්ල ලබා ගත හැකියි.මෙය අධ්‍යාපන කටයුතු වලට,රැකියාවකට යාමට ආදියට භාවිතා කළ හැකියි.
උප්පැන්න සහතිකය නැතිවුනොත් හෝ පළුදු වුවහොත් අපට කරන්නට තිබෙන්නේ අදාළ මුද්දර ගාස්තුව ගෙවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එහි අනු පිටපතක් ලබාගැනීමයි.මේ නිසා හැදුනුම්පත වගේම උප්පැන්න සහතිකයත් ආරක්ෂා කරගැනීම අත්‍යාවශ්‍ය‍යයි.
උප්පැන්න සහතිකයක අඩංගු තොරතුරු
01).උප්පැන්න අංකය
02).දිස්ත්‍රික්කය
03).කොට්ඨාෂය
04).උපන් දිනය හා උපන් ස්ථානය
05).නම
06).ස්ත්‍රි / පුරුෂ භාවය
07).පියාගේ විස්තර(සම්පූර්ණ නම,උපන් දිනය,උපන් ස්ථානය,ජාතිය,වෘත්තිය)
08).මවගේ විස්තර(සම්පූර්ණ නම,උපන් දිනය,උපන් ස්ථානය,ජාතිය,වෘත්තිය)
09).මවුපියන් විවාහකද යන වග
10).මුත්තා ලංකාවේ උපන්නේ නම්(මුත්තාගේ නම,උපන් ස්ථානය,උපන් වර්ෂය)
11).පියා ලංකාවේ නොඉපදී මී මුත්තා ලංකාවේ උපන්නේ නම්(මී මුත්තාගේ සම්පූර්ණ
නම,උපන් වර්ෂය,උපන් ස්ථානය)
12).උපත දැනුම් දුන් තැනැත්තාගේ සම්පූර්ණ නම,වාසස්ථානය හා කවුද යන වග
13).දැනුම් දුන් අයගේ අත්සන
14).උපත ලියාපදිංචි කළ දිනය
15).ලේකම්ගේ අත්සන
16).ලියාපදිංචි කිරීමෙන් පසුව ඇතුළත් කළ දෑ
17).එම විස්තර සැපයු අයගේ නම්
18).නම ඇතුළත් කිරීම හෝ වෙනත් නමක් යෙදුවොත්
19).දිනය
20).රෙජිස්ට්‍රාර්ගේ අත්සන
21).ඉහත සදහන් වනුයේ මෙම කාර්යාලයේ තැන්පත් කර ඇති උප්පැන්න ලේඛන සහතික
පිටපතක් බව මෙයින් සහතික කරමි.
22).දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
23).අතිරේක දිස්ත්‍රික් ලේකම් හෝ ප්‍රාදේශීය ලේකම්ගේ අත්සන
24).මෙම සහතිකයේ අඩංගු කරුණු හිතුමතයේ වෙනස් කිරීම දඩුවම් ලැබිය යුතු වරදකි.

Saturday, January 30, 2010

සිහිනය

සෙල්ලමින් සිනහවෙන් කාලය ගෙවූ
පුංචි ළමාවිය අතීතයට මුසුකර දමා
පොත් ප්‍රශ්න පත්තර
උසට උසේ මා වටකර ගොඩනගා ඇති
පවුරක් සේ මා දෙස බලා සිටී
උදයේ පාසලටත් දහවල ටියුෂන්වලටත් යටවී
රාත්‍රියද
චිමිනි ලාම්පු එළියෙන් මැටි බිත්ති හා පොල්අතු
වහලය අතරට සිරවී
කණාමැදිරි රැහැයි හඩ පමණක් ඉතිරි වූ යාමයේ
නිදිවරමින් මෙසේ වෙරදරන්නේ
අධ්‍යාපනයේ එක් කඩයිමක
දොර කවුළු විවර කර ගැනිමටද
නැතහොත්
යළිත් ඒ ගෙවූ ළමාවියේ මිහිරියාව
බොදව යන්නට නොදී
උදාකර ගැන්මටද ?

Friday, January 29, 2010

තනි වූ දැරිය


යුද කදවුරේ තනිවූ මා හට
කාත් කවුරුත් නැත බලන්නට
වෙඩි හඩට මා කොහේ යන්නද
පැල්පතේ මා සිටිමි දුකසේ

මාපියෝ වෙඩි වැදී මිය ගියේ
තනි කරවමිනි මෙලොව මං
කුසට අහරක් නැතිව කිසිදා
දිවි ගෙවමි මා කදුළු බී

අතීතයේ මා අකුරු කලහැටි
මතක නැතුවා නොවේ මා හට
නමුත් දැන් එය සිහිනයකි මට
බිදී ඇත මගේ ළමා ලෝකය

කුරිරු යුද්ධය ඉවර වීලා
සාමය දොර ළගට එනතුරු
බලා ඉන්නෙමි අැඩූ කදුලෙන්
මගේ ලෝකය යළි හැදෙනතුරු

Thursday, January 28, 2010

තේරවිලි

තේරවිලි නම් වූ ජන සාහිත්‍ය අංගය අයත් වන්නේ ජන ගී සම්ප්‍රදායටයි.ගැමි ජනතාවගේ උපතේ සිට මරණය දක්වා මුහුණ පාන අත්දැකීම් මේවායේ ඇතුළත් වෙයි.මේ අනූව තේරවිලි ජන ගීයේ උපාංගයක් ලෙසින්ද සැලකිය හැක.තේරුම් ගැනීමට අපහසු ලෙස වචන සගවා ඉදිරිපත් කිරීම ප්‍රහේලිකා හෙවත් කේරවිලි ලෙස හදුන්වයි.තෝරන්නටත්,
විසදන්නටත් ඇති දෙය තේරවිල්ලයි.බාල මහලු,උගත් නූගත්,දුප්පත් පොහොසත් කොයි කවුරුත් එකල තේරවිලිවල ආස්වාදය ලැබුවාද තේරවිලි විනෝදය සදහාම ගෙතුණු දෙයක්ම නොවෙයි.එය පණිවුඩ හුවමාරු කිරීමේ ක්‍රමයක් ලෙසද භාවිතා වුවකි.තේරවිලි,ජන ගීයේ උපාංගයකි,මුඛ පරම්පරාවෙන් පැවත එයි,කතෘත්වයක් නැත,අර්ථය සගවා ඉදිරිපත් කරයි,දස අටමත් විරිතෙන් බොහෝ තේරවිලි පබැදී ඇත,දිගම තේරවිලි පැදියට මාත්රාග 32 ක් ඇත.

තේරවිලි වර්ග

සරල තේරවිලි

කුඩා දරුවන් අතර වඩා ප්‍රසිද්ධ තේරවිලි වර්ගයයි.එයින් බොහොමයක් ඇතුළත් වන්නේ ගද්‍ය තේරවිලි වර්ගයටයි.වචනයක ශබ්දය හෝ කේරුම අනූව එයට සමාන දෙයක් කියා එය කුමක්දැයි විමසීම මෙහිදී සිදුවෙයි.
කැලේට ලිය - අරලිය
පුංචි ගෙදර දර - ගිනි පෙට්ටිය
නාන්නට බැරි විල - කරවිල
ඔක්කොගෙම මල්ලී - කොත්තමල්ලී
අම්මා හඩයි දුව පෙරලෙයි - මිරිස් ගල

තුන් තේරවිලි

ළමා වයස පසු කළ දරුවන් අතරේ ඉතා ප්‍රචලිත තේරවිලි වර්ගයකි.පරම්පරා කිහිපයක් තිස්සේ පැවත ආ තුන් තේරවිලි ගැන අපි කවුරුත් දනිමු.තමන් හා අමනාප වූ යහළුවෙකුට කෙළි කවටකම් කරන්නට ඕනෑ වූ විටද නිර්මාණය කළ තේරවිලි තිබේ.ඇතැම් අවස්ථා වල ගම් හා ප්‍රදේශ නාමද තේරවිල්ලට නගයි.ඇතැම් විට ඉංග්‍රීසි,දෙමළ වැනි භාෂාවන්ද තේරවිල්ලට එකතු වී තිබේ.තුන් තේරවිලි සදහා සෑදුනු කවිද තිබෙන අතර ඒවා සීමිතය.තුන් තේරවිල්ලක් පියවර 3 කින් යුතුය.
“කෝටු ඉලක්කය”නැමැති තුන් තේරවිල්ල විසදන්නේ මෙහෙමයි.
පළමු පියවර - කෝටු නම් දර,ඉලක්කය නම් මාන
දෙවන පියවර - දර මාන
තුන්වන පියවර - මරදාන
ගොම කටුව - පෝර උල - ඌරාපොල
මඩ කකුල - පල් ගාත - ගල්පාත
අයිස් මිටි - ඇස් කොට - කොස් ඇට
මෙහෙකාර හෝටල් - බෝයි අවන් - ආයුබෝවන්

හෝඩුවා තේරවිලි

යම් දෙයක් ගැන කුතුහලයක් ඇති කරවීමට මේ තේරවිලි සමත් වෙයි.අප අත්දකින දෙයක් පිළිබදව චිත්ත රූප මැවෙන සේ වචන කිහිපයකින් දැක්වීම මෙහිදී කෙරෙයි.
ආප්පය
උඩට ගිනිලවා මොළවා තිබෙන්නා
දෙගිනි මැදට යහනකි සරසා දුන්නා
දෙපිට තලා පොල් ලුණුලා පොවන්නා
දෙගිනි මැද යහනෙ දරුවෙක් සැතපෙන්නා

කොස් ගෙඩිය
අත්තක් උඩ බුම්මාගෙන
කටු රෙද්දක් පෙරවාගෙන
නාකි වෙලා කදුළු සලන
ලියක් සිටි තෝරනු මැන

ව්‍යංගාර්ථ තේරවිලි

එක් දෙයක් තවත් දෙයකට ආරෝපණය කර වක්‍රව තේරුම් ඉදිරිපත් කරන තේරවිලි වර්ගයකි.කවියෙන් වර්ණනා කරන දෙය තේරවිල්ලේ හෝඩුවාව බවට පත්වේ.ශබ්දය මූලික කරගෙන ද ව්‍යංගාර්ථ තේරවිලි පවතී.
ප්‍රශ්නය
ටං ටං ගාන්නා තෝරා එවාපං
ටිං ටිං ගාන්නා තෝරා එවාපං
මගවැලි පිසින්නා තෝරා එවාපං
දෙගංබඩ රජා තෝරා එවාපං
පිළිතුර
ටං ටං ගාන්නා ගෝනා නොවේදෝ
ටිං ටිං ගාන්නා ලේනා නොවේදෝ
මගවැලි පිසින්නා කුකුළා නොවේදෝ
දෙගංබඩ රජා කිඹුලා නොවේදෝ

වෙදගැට තේරවිලි

රහස් බෙහෙත් හා සංෙයා්ග ක්‍රම ඇතුළත් තේරවිලියි.මේවා අප්‍රකට වචන යොදා අදහස සගවා ඉදිරිපත් කරයි.
අක්කාගේ බෑයේ සුදු මද රැගෙන
මුත්තා ගෙනා පැන් උණුකර අනාගෙන
පත්තා කද මුවක ගෑවොත් විස බසිනා
මුත්තා පල්ල බෙහෙතකි රටට නොකියනා
හුනු ස්වල්පයක් පොල් පැණියෙන් අනා පත්තෑයා දෂ්ඨ කල ස්ථානයේ ආලේප කිරීම හොද බව මෙයින් කියවේ.

අක්ෂර ප්‍රහේලිකා සහ චිත්‍රය බන්ධන
දහම් ගැට කවි
ගණිත ගැටලු
ව්‍යවහාර ඥාන පරීක්ෂණ
රහස් භාෂා අදහස් හුවමාරු කිරීමේ ක්‍රම
තහංචි කවි

Sunday, January 24, 2010

කේන්දරය

කේන්දරය කියලා කියන්නේ කෙනෙකු මෙලොව උපත ලැබූ වෙලාවේදී ග්‍රහයන් පිහිටා තිබෙන ආකාරය අනූව සකස් කරන ලද සටහනකි.උපන් වෙලාව,දිනය හා ස්ථානය අනූව පංචාංග ලිත උපයෝගී කරගෙනයි.කේන්දරය බලා කෙනෙකුගේ වර්තමාන මෙන්ම අනාගත තොරතුරු ගැනත් දැනගන්න පුළුවන්.කේන්දර සටහනක් තිබෙන හැම කෙනෙකුටම ලග්නයක්ද අයිතියි.ලග්නය යොදාගනු ලබන්නේ රාශි චක්‍රය අනූවයි.මුළු අහසම තරු රටා 88 කට බෙදා තිබෙනවා.ඒ අතරින් තරු රටා 12 ක් රාශි චක්‍රයට අයත්ය.ඒ රාශි 12 වනුයේ,
මේෂ - එළුවෙක් නිරූපණය වේ.
වෘෂභ - ගවයෙක් නිරූපණය වේ.
මිථුන - නිවුන් සහෝදරියන් දෙදෙනෙක් නිරූපණය වේ.
කටක - කකුළුවෙක් නිරූපණය වේ.
සිංහ - සිංහයෙක් නිරූපණය වේ.
කන්‍යා - මල් කිනිත්තක් අතින් ගත් කාන්තාවක් නිරූපණය වේ.
තුලා - තරාදියක් නිරූපණය වේ.
වෘශ්චික - ගෝනුස්සෙක් නිරූපණය වේ.
ධනු - අශ්වයෙකු පිට නැගි දුනුවායෙක් නිරූපණය වේ.
මකර - මුහුදු අශ්වයෙක් නිරූපණය වේ.
කුම්භ - කළයක් අතින් ගත් කාන්තා රුවක් නිරූපණය වේ.
මීන - මාළු දෙදෙනෙක් නිරූපණය වේ.

දරුවෙකු උපදින වෙලාව අනූව නැගෙනහිර ක්ෂිතිජයේ උදාවී තිබෙන රාශිය එම දරුවාගේ ලග්නය සේ යොදාගන්නවා.උදාහරණයක් වශයෙන් දරුවෙක් දහවල් 2.00 ට උපත ලැබුවා යැයි සිතමු.එවිට එම වෙලාවේදී නැගෙනහිර ක්ෂිතිජයේ උදාවී තිබෙන රාශිය මේෂ නම් එම දරුවාගේ ලග්නය වන්නේ මේෂයි.කේන්දරය නිර්මාණය කරන්නේ ජෝතිෂ්‍යයට අනූවයි. ජේතිෂ්‍යය කියන්නේ ආකාශ වස්තූන්ගේ චලිතය හා ඒවායේ පිහිටීම පදනම් කරගෙන අනාවැකි පළකරන ශාස්ත්‍රයටයි. ජේත්ෂ්‍යය ආරම්භ වී තිබෙන්නේ ඉන්දියාවෙන් බවයි විශ්වාස කරන්නේ,එය වසර 5000 කටත් වඩා පැරණි ශාස්ත්‍රයකි.

කෙනෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය රැදී තිබෙන්නේ ඔහු හෝ ඇය සතු උත්සාහය,ධෛර්යය,
යහපත් ගති පැවතුම් ආදිය මතයි.එහෙත් කේන්දරයද කෙනෙකුගේ ජීවිතයට වැදගත් වෙනවා.අපි හිතමු යම් කෙනෙකුගේ කේන්දරයට අනූව ඒ තැනැත්තාට අපල කාලයක් උදාවෙලා තිබෙනවා කියලා.අවශ්‍යනම් ඒ තැනැත්තාට බෝධි පූජා පැවැත්වීම,සෙත්කවි කීම ආදී ආගමික වත්පිළිවෙත්වල යෙදී එම අපලයෙන් මිදීමට හැකියාව තිබෙනවා.කේන්දරය අපේ ජීවිතය නමැති ගමනේ ඉදිරියේදී හමුවන මාර්ග බාධක පෙන්වා දෙන මාර්ග උපදේශයෙකු වගෙයි.කේන්දරයට අනූව එම මාර්ග බාධක හදුනාගෙන ඒවා මගහැර ජීවිතය නමැති ගමන සාර්ථක කරගැනීමයි වැදගත් වන්නේ.

අසිරිමත් හිමිදිරිය


රිදී පැහැති වලා රොදින්
උඩට උඩු වියන් බැදන්
සුදු මල් පෙති පලස් සදා
කොයි කවුරුත් බලා හිදිත්

නිල්වන් ගිරි හිස මුදුනින්
රිදී වර්ණ රැස් විහිදා
නැගෙමින් එන හිරු දකිමින්
නෙලුම් මලේ පෙති විහිදේ

පිණි බිදු තණ මත වැටිලා
හිරු රැස් දැක සිනහ සලයි
සේපාලිකා මල් දෙක තුන
ගිලිහී නිල් තණ මත වැටෙයි

දං ඕවිට පදුරු මතින්
දෙමලිත්තෝ රෑන් හඩ තලති
ගංගා ඇළ දොළ අතරේ
දණ්ඩි පැටව් වරල් ගසති

උදළු පොඩිය කර තියාන
ගොවියෝ කුඹුරට ඇදෙත්
සුදු කොක් රැළ මෙන් දරුවෝ
ගුරු ගෙදරට පා නගත්