Sunday, February 14, 2010

පුතුනි රාහුල


සුදු පිරුවටින් ගත සරසවා
කුලගෙයට සමු දී
මව්පිය අවසරය ගෙන
සවන් පිනවන ඝණ්ඨා නාද
සිත් සනසන සදහම් සුවද
පියනැගුවා සොයමින්
රන්වන් පාටින් බැබළුණ බෝ සමිදු අභියසට
කෙස් වැටිය දන් දී
කහවන් සිවුරක් ගත පොරවාගෙන
බුදු රදුන් වැඩි මග පියමනින්න
සසුනට එක් වුනා තවත් රාහුල පුතෙක්
ඉදින් මතුවටත් නුඹ මට පුතෙක් නොව
මුළු මහත් බෞද්ධයන්ට ම පුංචි හාමුදුරුනමක්
එතෙරව සසර අනෙක් අයත් මුදවන්න දුකින්
ඒ පිනම ඇති බුදු පුතේ
මව් සෙනෙහස බැති බරින් පාරමී පුරා
එතෙර වන්නට බව කතර.....

Tuesday, February 9, 2010

කේන්දරය

කේන්දරය කියලා කියන්නේ කෙනෙකු මෙලොව උපත ලැබූ වෙලාවේදී ග්‍රහයන් පිහිටා තිබෙන ආකාරය අනූව සකස් කරන ලද සටහනකි.උපන් වෙලාව,දිනය හා ස්ථානය අනූව පංචාංග ලිත උපයෝගී කරගෙනයි.කේන්දරය බලා කෙනෙකුගේ වර්තමාන මෙන්ම අනාගත තොරතුරු ගැනත් දැනගන්න පුළුවන්.කේන්දර සටහනක් තිබෙන හැම කෙනෙකුටම ලග්නයක්ද අයිතියි.ලග්නය යොදාගනු ලබන්නේ රාශි චක්‍රය අනූවයි.මුළු අහසම තරු රටා 88 කට බෙදා තිබෙනවා.ඒ අතරින් තරු රටා 12 ක් රාශි චක්‍රයට අයත්ය.ඒ රාශි 12 වනුයේ,
මේෂ - එළුවෙක් නිරූපණය වේ.
වෘෂභ - ගවයෙක් නිරූපණය වේ.
මිථුන - නිවුන් සහෝදරියන් දෙදෙනෙක් නිරූපණය වේ.
කටක - කකුළුවෙක් නිරූපණය වේ.
සිංහ - සිංහයෙක් නිරූපණය වේ.
කන්‍යා - මල් කිනිත්තක් අතින් ගත් කාන්තාවක් නිරූපණය වේ.
තුලා - තරාදියක් නිරූපණය වේ.
වෘශ්චික - ගෝනුස්සෙක් නිරූපණය වේ.
ධනු - අශ්වයෙකු පිට නැගි දුනුවායෙක් නිරූපණය වේ.
මකර - මුහුදු අශ්වයෙක් නිරූපණය වේ.
කුම්භ - කළයක් අතින් ගත් කාන්තා රුවක් නිරූපණය වේ.
මීන - මාළු දෙදෙනෙක් නිරූපණය වේ.

දරුවෙකු උපදින වෙලාව අනූව නැගෙනහිර ක්ෂිතිජයේ උදාවී තිබෙන රාශිය එම දරුවාගේ ලග්නය සේ යොදාගන්නවා.උදාහරණයක් වශයෙන් දරුවෙක් දහවල් 2.00 ට උපත ලැබුවා යැයි සිතමු.එවිට එම වෙලාවේදී නැගෙනහිර ක්ෂිතිජයේ උදාවී තිබෙන රාශිය මේෂ නම් එම දරුවාගේ ලග්නය වන්නේ මේෂයි.කේන්දරය නිර්මාණය කරන්නේ ජෝතිෂ්‍යයට අනූවයි. ජේතිෂ්‍යය කියන්නේ ආකාශ වස්තූන්ගේ චලිතය හා ඒවායේ පිහිටීම පදනම් කරගෙන අනාවැකි පළකරන ශාස්ත්‍රයටයි. ජේත්ෂ්‍යය ආරම්භ වී තිබෙන්නේ ඉන්දියාවෙන් බවයි විශ්වාස කරන්නේ,එය වසර 5000 කටත් වඩා පැරණි ශාස්ත්‍රයකි.

කෙනෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය රැදී තිබෙන්නේ ඔහු හෝ ඇය සතු උත්සාහය,ධෛර්යය,
යහපත් ගති පැවතුම් ආදිය මතයි.එහෙත් කේන්දරයද කෙනෙකුගේ ජීවිතයට වැදගත් වෙනවා.අපි හිතමු යම් කෙනෙකුගේ කේන්දරයට අනූව ඒ තැනැත්තාට අපල කාලයක් උදාවෙලා තිබෙනවා කියලා.අවශ්‍යනම් ඒ තැනැත්තාට බෝධි පූජා පැවැත්වීම,සෙත්කවි කීම ආදී ආගමික වත්පිළිවෙත්වල යෙදී එම අපලයෙන් මිදීමට හැකියාව තිබෙනවා.කේන්දරය අපේ ජීවිතය නමැති ගමනේ ඉදිරියේදී හමුවන මාර්ග බාධක පෙන්වා දෙන මාර්ග උපදේශයෙකු වගෙයි.කේන්දරයට අනූව එම මාර්ග බාධක හදුනාගෙන ඒවා මගහැර ජීවිතය නමැති ගමන සාර්ථක කරගැනීමයි වැදගත් වන්නේ.

ඔබ විය යුත්තේ...

මහත් වූ කම්කටොළු
මැදින් දිවයින
මේ දිගු ගමනේ
නොවන්නට කදෝ පැණියක්
චණ්ඩ හිරු රැසින් හීන වී යන
උත්සාහ කළ යුතුය නුඹ
ඇරඹෙන හෙට දිනේ...
වෙමු අපි සැවොම
කඨෝර නිම්නයක වුව
අභීතව නැගී සිටින
මකරන්දයෙන් පූර්ණ වූද
සැම සතන්හට
නේක ඵල ගෙන දෙන
වෘක්ෂයෝ
උදාවන හෙට දිනේ...

Saturday, February 6, 2010

මෙලෙසට සතුන් හට පමණක් ඇයි හිංසා

තිරිසන් සතුන්ගේ මස් ඇයි අප කන්නේ
මනසින් උසස් මිනිසත් බව ලැබ ඉන්නේ
සතුටින් මස් කමින් පවු ඔබ පුරවන්නේ
මෙලෙසින් රකුසු වෙස් මිනිසුනි ඇයි ගන්නේ

කිරි අම්මා ලෙසට අපහට මෙහෙකාර
කරත්තේ ඇදීමට පුතෙකුත් කරබාර
එළවළු කොරටුවට පොහොරත් දීසාර
අවසානයට මස්කඩ හිමියට බාර

තුවාල වුනොත් තරමක් අපෙ සම් රෙද්ද
විශාල රිදුම් දැවිලිද ඇති වෙන්නැද්ද
අකාලයේම සතුනට හිංසාවෙන්ද
මරලා කන්නේ ඇයි ඔබලා මිනිසුන්ද

හැමතැන වැව් පොකුණු සැම සිදිලා යනවා
තැන තැන සතුන් දිය සොයමින් ඇවිදිනවා
බදුනක වතුර දැක නිවෙසට ළංවෙනවා
තිබහට වතුර නැත මරුවට කැපවෙනවා

රූප පෙට්ටියට කළහැකි මෙහෙය

විසිපස් වසරක් වූ සියවස් හිරුකිරණ පොළෝ තලය සිපගනිද්දී අපගේ නෙත් ඇදගත් මෙය නවීන තාක්ෂණයේ තවත් අපූරු නිර්මාණයකි.මෙම අපූරු නිර්මාණය ජෝන් ලොගී බෙයා විසින් නිශ්පාදිත රූපවාහිනියයි.කළු සුදු රූපවාහිනියෙන් අරඹා වර්ණ රූපවාහිනිය දක්වා ඉතා දීර්ඝ කාලයක් පැමිණ සෑම පවුලකම සාමාජිකත්වය ලබා ඇති මහත් සේවයක් හා විශ්මයක් ලබාදුන් දෙයකි.අධ්‍යාපනය සදහා අද රූපවාහිනියෙන් සිදුවන සේවය අති මහත්ය.එමෙන්ම ලෝකයේ සිදුවන ඕනෑම දෙයක් ලෝක ප්‍රජාවට එක පුළුල් තිරයකින් ලොව ඕනෑම තැනක සිට නැරඹිය හැකි අවස්ථාව දුන්නේද රූපවාහිනියයි.ගෙදර සිට ඕනෑම දෙයක් ගවේෂණය කරමින් ගෙදර සිට ලොව වටා සංචාරය කිරීමටද අවස්ථාව සැලසුවේ රූපවාහිනියයි.විද්‍යාවේ නවතම නිර්මාණ ප්‍රයෝජනවත් වැඩසටහන් වලින් අපට දැක ගැනීමට සලස්වයි.එමෙන්ම ක්‍රීඩාවට විනෝදයට කාගෙත් සිත් යොමු කරමින් ක්‍රියාකරන අතර ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයෙන් මානවයාට මහත් ප්‍රයෝජන ලබාදෙයි.සෑම කෙනෙකුගේම හොද මෙන්ම නරකද ඇත.සෑම කන්දකම පල්ලම් ඇත.එසේම රූපවාහිනියේද අවාසි ඇත.ළමා සිත් දූෂණය කරන මත්ද්‍රව්‍යයක වැඩසටහන්,සොරකම්,ප්‍රචණ්ඩත්වය,
මිනීමැරුම්,දූෂිත චිත්‍රපටි දර්ෂණ ආදිය පෙන්නුමෙන් අද සමාජය පරිහානියට පැමිණ තිබේ.එමෙන්ම අක්ෂි දෝශයට රූපවාහිනියෙන් පිටවන විකිරණය හේතුවී ඇති බව සොයාගෙන ඇත.නමුත් රන් හංසයා කිරිත් වතුරත් වෙන් කරන ලෙස අපටද යොග්‍ය දේ පමණක් ලබාගත හැක.නරක බැහැර කොට එහි ඇති හොද සාරය උරා ගතහොත් රටෙත් අපෙත් හෙට දින ඉතා දැනුමෙන් පිරෙනු නිසැකය.

Friday, February 5, 2010

බසේ වෙනසක්

අප විවිධ ප්‍රදේශවල ජීවත් වෙනවා.එකම රටක වුවත් විවධ භාෂා භාවිතා කරනවා.සිංහල හෝ වේවා දෙමළ හෝ වේවා මේ එකම භාෂාවේ වුවත් විවිධ වෙනස්කම් තිබෙනවා.අපේ රටේ බහුතරයක් කතා කරන්නේ සිංහල භාෂාවයි.නමුත් ඇතැම් විට එක් එක් ප්‍රදේශවල අය භාෂාව භාවිතා කරනවිට සිංහල භාෂාවේම වුණත් වෙනස්කම් තිබෙනවා.මේ වෙනස්කම් තමයි භාෂාවේ ප්‍රාදේශීය ව්‍යවහාර කියන්නේ.මෙහිදී දැකිය හැකි ලක්ෂණයක් තමයි ඔබ යම් දෙයකට පාවිච්චි කරන වචනය වෙනත් ප්‍රදේශයකින් පැමිණියෙකු වෙනත් වචනයක් යොදමින් කතා කිරීම.
රුහුණු ජනවහර
රුහුණු යන පදය පැරණි රුහුණු රට සදහා භාවිතා වී ඇතත්,දකුණු පළාතේ ජනවහර සලකා බලන විට රූණ යන්නෙන් අදහස් කරන්නේ හේන් ගොවිතැන ප්‍රධාන නිෂ්පාදන මාර්ගය බවට පත්කර ගත් වනාත්තර ආශ්‍රිත ප්‍රදේශ බව පෙනෙනවා.දකුණ් වැසියාට මොනරාගල වැනි ඌව පළාතට අයත් ප්‍රදේශද රූනක් විය හැකියි.දකුණේ ජනතාවට ආවේනික වූ ජනවහරක් තිබෙනවා.මේ ව්‍යවහාරය ගිරුවා පත්තුවේ,මාගම් පත්තුවේ හා මාතර වැල්ලබඩ හා කන්දබඩ පත්තුවල,ගිරුවායට තදාසන්න ප්‍රදේශවල අදත් නොනැසී තිබෙනවා.ගාල්ලේ ඇත්තෝ මීට මදක් වෙනස් වූ වහරක්,ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම් පත්තුවේ ව්‍යවහාරයේ තවත් වෙනස්කමක් දැකිය හැකියි.රත්ගම හා බලපිටිය ප්‍රදේශවල වහරේ අමුතු බවක් දිස්වෙනවා.ඒ අමුතු බව දිස්වෙන්නේ වචනවල නොව උච්චාරන රටාවෙයි.
01).මවගේ නැගණිය - බාලම්මා,පුංචි අම්මා 02).මුත්තා - මුත්තණ්ඩි 03).ඔබ - ඔහේ 04).ඔයයි මමයි - ඔයැයිතුයි මමයි 05).නුඹ,නුඹලා - බොලා 06).ඉලන්දාරියා - ගැටයා 07).කට්ටඩියා - ඇදුරා 08).තොවිල්කාරයා - යකැදුරා 09).පුළුවන්කම ඇත්තා - ඇහැක්කාරයා 10).අමුත්තා - මෝසුවා
11).දේවාල කපුවා - ගීගන මහත්තයා,පත්තිනි මහත්වරු 12).දිවුල් - ජූල් 13).ජම්බෝල - මහනාරං,බම්බාලෝසි 14).අනෝදා - අනෝනා,අනෝල,මැන්ඩොරන් 15).බිලිං - බිංබිරි
16).නොඉදුනු පුහුලන් - කැහිගැට 17).කෙසෙල් කැන් - වතු කොනක් 18).හොද්ද - ආනම
19).මොනවටද - මක්කටෙයි 20).පරම්පරාව - සනුවරේ 21).විවාහය - හිරය 22).වැස්ස - මාරියාව
23).කුඩා කූඹියා -හින්නා 24).වල් අලියා - බොටකදා,උසනා,ගජරා 25).වලහා - ගමයා,සෝම,
දෙයියන්ගේ බල්ලා 26).කුළු හරකා / වල් මී හරකා - පැගිරා,මදයා 27).කොටියා - පොට්ටනියා,
මහරෑන්කාරයා 28).ගෝනා - කරකොලයා 29).මුවා - සුබරයා 30).වදුරා - ගස් ගෝනා

ඌව ජනවහර
ඌව ජනවහර විශේෂ ලක්ෂණ පෙන්වන වහරක් වන්නේ,එය දිගාමඩුලු ව්‍යවහාරයේත් පානම ව්ය ව්‍යවහාරයේත් ලක්ෂණ එයට මිශ්‍ර වී ඇති භාෂාවක් නිසයි.ඉහළ ඌව ලෙස හැදින්විය හැකි බදුල්ල,බණ්ඩාරවෙල,ඌව පරණගම,වැලිමඩ,පස්සර,හාලිඇළ හා වියලුව ප්‍රදේශවල පවතින බස් වහරට වඩා යම් යම් වෙනස්කම්,පහළ ඌවට අයිති ප්‍රදේශ වන වෙල්ලස්ස හා ඌව බින්තැන්නේ දැකිය හැකියි.පහළ ඌවේ බස් වහර වඩා සමීප වන්නේ ඉහළ ඌවේ ජන වහරට වඩා දිගාමඩුලු ජනවහරටයි.

01).උදේ පාන්දර - හීල් පාන්දර 02).පාන්දර - පාන්දොඩ 03).හිමිදිරිය -පානු පැය
04).තද හිරු රැස් - ඇට බගව්ව 05).ඉර බැසීම - ඉරගල වැටුණා 06).කිරි බැබළෙන හද - ගිණිබන්ඩාර හද 07).නියගය - සාක්කූලය 08).වැහිවලා - බීරන් 09).මහවැස්ස - කුලන්තරය 10).හරකා - දුයියා
11).පොල්කිච්චා - මිච්චා 12).කුකුළා - පාන්දර නැකැත්තා 13).ඉබ්බා - දිය කුකුළා 14).බල්ලා - කැටා,කූඩුවා,ඇදුරු කුක්කා 15).දුව - කෙලිගහ,කෙලී 16).පුතා - කොල්ලා,කුඩුම්බරයා 17).අහිංසකයා - ගැස්තරයා 18).කෑදරයා - කාමරස්සයා,කෑහුලා,කෑකයා 19).බත පැසීම /ඉදීම - බත සැතපෙනවා
20).වෑංජන - මාළු 21).මාළු - අමුකරවල 22).සිල්ලර බඩු - පලසිලව් 23).තුනපහේ - පන්නේ
24).පිට්ටු - පීරුම් 25).තලප - වන්නිකැට 26).විහිලු කරනවා - කොක්කට්ටන් කරනවා,කෝලිත්තම්,
තොච්චිකේලි කරනවා 27).කරදරය - පොයියංගම,කම්බිරිස්සාව 28).ඉක්මන් - කස්තරේ
29).කොතෙක් කීවත් ඉන් ඵලක් නොවීම - කියලා පරාදයි 30).යමකට අදිමදි කිරීම - පහිමුලෑම
31).බිරිය - අපේ උන්දා 32).සැමියා - අපේ ඇත්තෝ / සකියා

දිගාමඩුලු ජනවහර
වැව්ගම් පත්තුව හා බින්තැන්න පත්තුවේ ජනවහරයි.1948 ඇරඹු ගල්ඔය ව්‍යාපාරය නිසා,වැව්ගම් පත්තුවේ ගොවිජනපද ඇතිවුණා.මේවාට සංක්‍රමනය වූ ජනපදිකයන් නිසා ඒ ප්‍රදේශවල තිබුණු බස් වහර තුරන්ව ගොස් අලුත් බස් වහරක් ව්‍යාප්ත වුණා.නමුත් වැව්ගම් පත්තුවේ බස්වහර බිම්තැන්න පත්තුවෙත් ඌවට අයත් නිල්ගල කෝරළයේත් වැඩිහිටියන් අතර දකින්නට පුළුවන්.වැව්ගම් පත්තුවේ බස්වහර අනෙක්වාට වඩා වෙනස් ප්‍රශ්නාර්ථයේදී “ද ? ”නොයෙදීම.ක්‍රියා පද ව්‍යවහාර කරනවිට වවත්,කත්,සිටිත්,බලත්,කියත් යනාදී වශයෙන් බහුවචන ස්වරූපය ගැනීම.බොහෝ වචන පැරණි භාෂාවේ භාවිතා කල වචන වීම.

01).පියා - අප්පා 02).මව - මේ / මොවී 03).මවගේ මව - කිරි අම්මා 04).සැමියා - බොටා 05).නෑනා - එතනා 06).නැන්දම්මා - අම්මණ්ඩි 07).බල්ලා - කැටා 08).බළලා - කුංචා 09).සැලළිහිණියා - තඹරැණීයා 10).සමනළයා - මල්බැත්තා 11).මයිනා - ගොන්කවඩියා 12).කූඩැල්ලා - පූඩැල්ලා 13).බත් - දෙපිටඋල් 14).හොද්ද - කායම 15).කිරිඅල - කොකිස් 16).කරවල - කුඩුමස්සන් 17).පැපොල් -අඹ 18).බෝතලය - කීසාව 19).කළය - අතල 20).වෙඩි තැබීම - ගිණී බිදීම 21).තුවක්කුව - කළුමිනික්කම 22).ඔක්කාරය - ඔරවනවා 23).ලෙඩක් හැදීම - විසාදිය 24).කම්මැලි අය - සෝමාරියෝ 25).තරුණයා - ගොබිලා

පානම වහර

01).එළිය වැටෙන්නට පෙර මද ආලෝකය - හරස් එළිය 02).උදෑසන - සැහැරිය 03).හිරු - ඵලයියා 04).හද - කිලයියා 05).ගංවතුර - උගන්දිරම 06).අකීකරු මෝඩයා - විසපතලයා 07).මෝඩ ගැමියා - හිංගලයා 08).දරු දැරියන් - පැටු කුංජක් 09). කපටියා - පුඩුක්කුවා 10).ස්වභාවිකව ඇතිවන ගොවිතැන් පාළුව - අකනස්වීම 11). සාගතය - පංජම 12). සුනුසාල් - ඌසල් ඇට 13).හාමත් වෙනවා - තිරහන් දානවා 14).පලහිලව්ව - සංගදෝරුව 15).අසීමිත ලෙස දුක්වීම - පත්ති පදිරිවීම 16).නැන්දා - මාවී 17).මස්සිනා - හූරා,බොටා 18).මහළු පිරිමි - බූඩා 19).ඉගුරු - ඉරිගු 20).මාළු -කුරැය්යන් 21).වෑංජන - මාලිපිං 22).දිවුල් - මරද 23).දිවියා - දිම්බා 24).වලසා - අංකොළ මිටියා 25).ඔරොත්තු දෙනවා - තාංගු දෙනවා

උඩරට ජනවහර
මධ්‍යම පළාතේ බස්වහර උඩරට ජනවහර ලෙස හැදින්වේ.මධ්‍යම පළාතට අයිතිවන්නේ මහනුවර,
නුවරඑළිය,මාතලේ,යන දිස්ත්‍රික්කයි.හොදින් පරීක්ෂාකර බැලූවිට උඩරට ජනවහරේ ප්‍රභේදත් තිබෙනවා.මහනුවර බස්වහර,මාතලේ බස්වහර,හගුරන්කෙත බස්වහර,කොත්මලේ බස්වහර.

01).නොසැලකීම - අද්දුවන්කම 02).සංග්‍රහ කිරීම - පොහොනි කිරීම 03).ඔච්චම - කෝලිත්තම 04).ආඩම්බරවීම - ඉලන්දරවීම 05).ලැජ්ජාව - කෝන්කම 06).නින්දා - නිහිනින්දා 07).අතරමංවෙලා - කොලෑවෙලා 08).පිපාසය - කටකිරියාව 09).ගසා දමනවා - ගහිල්ලනවා 10).කෝලම් කරනවා - විලයාට්ටු කරනවා 11).උදෑසන -උදැහැනැක්ක 12).වැහි අදුර - මංඩාරම,මන්දාරම 13).අනෝරා වැස්ස - උඩදවුලා කරනවා 14).මිරිස් ගල - දාගල 15).අත්ගල - මිටුවන්ගල 16).මැටි කෝප්පය - මඩක්කුව 17).ලොකු අම්මා - මහම්මා 18).කපුවා - කේලම්කාරයා 19).ගමේ ප්‍රධානියා - ගම්මැහේ 20).හිතුවක්කාරයා - හිත්දළයා,ගුත්තා 21)මස්සිනා - වහජ්ජා 22).බිරිය - මායියා,ඇඹෙණිය,අඹුව 23).හිරු රැස් - රාස්සිගේ අව්ව,යක්ෂණීගේ අව්ව 24).ගසා දමනවා - ගහිල්ලනවා 25).වරද්ද ගන්නවා - වකුරු කරනවා.

Wednesday, February 3, 2010

පැන්සල් කොටා මගෙ ඇගමයි සූරන්නේ

පොත් බෑගයේ ‍ලොක්කා සැම අතින් මමයි
ඇදුමත් ලස්සනයි ඇතුළත් හරිම හැඩයි
පොඩිවුන් නොවැරදිම මා පාසල් ගෙන යයි
සතියෙන් දෙකෙන් මගෙ පිටු සේරම ඉවරයි

මල්වතු ගෙවතු මගෙ ඇගෙ සිත්තම් වෙනවා
පොත් පිටු පෙරළෙද්දී හරි සුවදක් එනවා
පාට පාට රූපෙන් මා හැඩ වෙනවා
ගුරුතුමියත් එයට ලොකු හයියක් දෙනවා

පුංචි පුතා පෙරළයි පිටු එකින් එක
ආසයි මාත් පෙන්නන්නට ඔහුගේ වැඩ
නංගිත් අයියාගෙ වැඩ දැක පනියි උඩ
පිටු ටික ඉවර වෙනකොට මට තමයි දුක

පුංචි පැන්සලෙන් ඇන්දම වැරදෙන්නේ
මකන යාළු වැරදුන තැන් නිතර හදන්නේ
කොච්චර මකල දැම්මත් නෑ ඉරි යන්නේ
පැන්සල් කොටා මගෙ ඇගමයි සූරන්නේ

Tuesday, February 2, 2010

නූතන ලොව

වෛරය,තරහව
ක්‍රෝධය
පිරීගිය ලොවක
සොයනු හැකිවෙයිද
සැනසීමක්
අනුන් පරයා
නැගීමට
වෙර දරන සද
දෙපා වාරු
ඇත මට
නැගී සිටින්නට
හෙලීමට වෙරදරන
හැම පරයා
දිනන්නට ලොවම

Monday, February 1, 2010

උප්පැන්න සහතිකය

මොකක්ද මේ උප්පැන්න සහතිකය,ඔබේ උපන් දිනය,උපන් ස්ථානය,ඔබේ නම,මවුපියන් කවුද ? යනාදී කරුණු ප්‍රධානව ඇතුළත් “උපත් වාර්තාව”උප්පැන්න සහතිකය ලෙස හැදින්විය හැකිය.උපත සහතික කළ යුත්තේ උපන් ස්ථානය ඇති ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි. මේ කටයුත්ත සිදුකරනු ලබන්නේ පළාතේ සිටින අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා විසිනුයි.
ලංකාවේ සිදුවන උපත් ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් මුල් කාලයේ තිබුනේ නැහැ.ජනගහනය වැඩිවීමත් සමගම මේ අවශ්‍යතාවය අපට ඇතිවුණා.ඒ නිසා බ්‍රිතාන්‍ය පාලන යුගයේ යහපත් පරිපාලනයක් සදහා උපත්,විවාහ,මරණ ලියාපදිංචි කළ යුතු බව තීරණය කර සිටියා.බ්‍රිතාන්‍ය පාලනයට පෙර එනම් ලන්දේසි යුගයේදීත් උපත්,විවාහ සහ මරණ ලියාපදිංචි කර තිබෙනවා.ඒ කාලයේ ලියාපදිංචි කළේ නගරයේ විසූ ජනතාවගේ සහ රටේ විසූ ප්‍රභූ පිරිසගේ පවුල්වල අය පමණයි.මේ සදහා ආදුරුප්පු වීදිය,ගාල්ල,යාපනය,මාතර ආදී නගරවල පිහිටි පල්ලිවල ලියාපදිංචි කිරීමේ කාර්යාල පිහිටුවා තිබුණි.මේ ආකාරයෙන් ලියාපදිංචි කිරීම ප්‍රමාණවත් නොවුණු නිසා 1822 අංක 09 දරණ රෙගුලාසියෙන් මුහුදු බඩ පළාත් වලට අයත් දිස්ත්‍රික්ක වල සිටින ස්වදේශිකයන් සහ යුරෝපීයන් නොවූවන්ගේ උපත්,විවාහ,මරණ ලියාපදිංචි කර තිබෙනවා.එදා ලියාපදිංචි කිරීමේ කටයුත්ත පැවරී තිබුණේ අද වගේ ස්ථිර රෙජිස්ට්‍රාර්වරු ලෙස එම කටයුත්ත සිදු කළා.පසු කාලීනව 1848 අංක 06 දරණ රෙගුලාසියට අනූව උඩරැටියන් සහ මුස්ලිම්වරුන්ගේ උපත්,විවාහ,මරණ ලියාපදිංචි කිරීමටත් කටයුතු කළා.ඉන්පසු 1849 දී නිකුත් කළ රෙගුලාසියේ සදහන් වූයේ ක්‍රිස්තියානි අයගේ උපත්,විවාහ,මරණ ලියාපදිංචිය සම්බන්ධව පමණයි.
මේ අයුරින් පනත් සංශෝධනය වෙමින් පැමිණ 1967 අංක 18 දරණ ආඥා පනත මගින් පොදුවේ ලංකාවේ වෙසෙන සියළුම ජනතාවගේ උපත්,විවාහ,මරණ ලියාපදිංචි කිරීමට කටයුතු කළා.එසේ ලියාපදිංචි කිරීමේ වගකීම රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත පැවරුණා.අද අපේ උප්පැන්න ආදිය ලියාපදිංචි කරන රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ආරම්භ කළේ 1964 වසරේදීය.එහි මූලික අරමුණ වූයේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කටයුතුයි.උපත්,විවාහ,මරණ ලියාපදිංචිය මේ ආයතනයට පැවරුණේ 1967 වසරේදී නිකුත් කළ ආඥා පනතක් මගිනුයි.
අද වගේ උප්පැන්න සහතික කිරීමට එකල ඒතරම් අවශ්‍යතාවයක් තිබුණේ නැහැ.රජය ඒ ගැන මිනිසුනට බල කර සිටියෙත් නැහැ.නමුත් උපත්,විවාහ,මරණ ලියාපදිංචි කිරීම නීතිමය වශයෙන් ඉතා වැදගත් දෙයක් වූ නිසා සංශෝධිත ආඥා පනතකින් ඒවා ලියාපදිංචිය අනිවාර්ය දෙයක් බවට පත් කළා.එසේම ලංකාවේ සිටින සෑම පුරවැසියෙකුම පාහේ මේ ගැන උනන්දු වුණා.උප්පැන්න සහතිකයේ අඩංගු තොරතුරු ප්‍රමාණවත් නොවීම නිසා 1975 න් පසුව වැඩිදුර විස්තර ඇතුළත් කර සහතිකය සංශෝධනය කළා.
මුල් කාලයේ උප්පැන්න සහතිකය අඩංගු වූයේ අදාළ පුද්ගලයාගේ විස්තර සමග ඔහුගේ පියා සහ මවගේ තොරතුරු පමණයි.ඒත් 1975 න් පසුව සංශෝධිත පනතක් ඇති වුණා.ඒමගින් සහතිකයේ මුත්තාගේ විස්තර හා මීමුත්තාගේ විස්තර පවා ඇතුළත් කර පුද්ගලයාගේ තවත් විස්තර ඇතුළත් කළ හැකි පරිදි සැකසුණා.1975 ට පෙර උප්පැන්න සහතිකයේ පිටපත් දෙකක් පමණයි තිබුනේ.ඉන් එකක් කොළඹ මාලිගාවත්තේ පිහිටි මධ්‍යම ලේඛනාගාරයේ තැන්පත් වුණා.අනිත් පිටපත ප්‍රාදේශීය කාර්යාලවල තබා ගත්තා.වර්ථමානයේ උප්පැන්න සහතිකයට පිටපත් 3 ක් තියෙනවා.ඉන් එකක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තිබෙන අතර අනික මධ්‍යම ලේඛනාගාරයේ තැන්පත් කරනවා.තුන්වැනි පිටපත උප්පැන්නය අයිති පුද්ගලයාට ලබාදෙනවා.
රෝහලක සිදුවු උපතකදී නම් රෝහලේ සිටින වෛද්‍ය රෙජිස්ට්‍රාර්වරයා ලියාපදිංචි කර “රෝහල් ප්‍රකාශය”නම් වූ ලියවිල්ල නිකුත් කරනවා.එහි උපත සම්බන්ධව සියළු විස්තර අඩංගු කර තිබෙනවා.එම විස්තර අනූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇති උප්පැන්න සහතික ඉල්ලුම්පත පිරවිය යුතුය.ඉන්පසු ප්‍රා.ලේ.කාර්.අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හට එය භාරදිය යුතුය.එවිට ඔහු “උප්පැන්න සහතිකයක්”අපට නිකුත් කරනවා.දරුවෙකු ගෙදරදී ඉපදුනා නම් වහාම ග්‍රාම නිලධාරියා වෙත ඒ බව දැනුම් දිය යුතුයි.ග්‍රාම නිලධාරියා ළග ඇති වාර්තාව පුරවා මව හා පියා අත්සන් කර කොට්ඨාස රෙජිස්ට්‍රාර් වෙත යැවිය යුතුයි.ග්‍රාම සේවක වාර්තාව මත රෙජිස්ට්‍රාර්වරයා උප්පැන්න සහතිකය නිකුත් කරනවා.උප්පැන්න සහතිකයේ කෙනෙකුගේ පුද්ගලික තොරතුරු සියල්ල අඩංගු වෙනවා.ඒ නිසා ජීවිතයේ සෑම අවස්ථාවකදීම තමන්ගේ තොරතුරු ඔප්පු කරන්න උපකාර වෙන්නේ උප්පැන්න සහතිකයයි.(හැදුනුම්පත සෑදීමට අවශ්‍ය මූලික ලියවිල්ලට,ගමන් බලපත්‍රය සකසා ගැනීමට,පාසලට ඇතුළත් වීමට,රැකියාවකට යාමේදී)
උප්පැන්න සහතිකයක් හදලා නැතිනම් පළමුවෙන්ම තමන්ට උප්පැන්න සහතිකයක් නැති බව අදාළ කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දිය යුතුය.එවිට එම නිලධාරින් පරීක්ෂණයක් පවත්වනවා.මෙම පරීක්ෂණයට රෝහලෙන් නිකුත් කරන විස්තර වාර්තාව සහ දෙමාපියන්ගේ කසාද සහතිකය අවශ්‍ය වෙනවා.ඒවා බලා ඒ අනූව උප්පැන්න සහතිකය නිකුත් කරනවා.ලිඛිත සාක්ෂි ඉදිරිපත් කළ නොහැකි කෙනෙකුට නම් උප්පැන්න සහතිකයක් ලබා දෙන්නේ නැහැ.ඒත් ඒ පුද්ගලයාට අනුමාන වයස,මවුපියන්ගේ විස්තර ආදිය අඩංගු කර “අනුමාන වයස් සහතිකය”නමැති ලියවිල්ල ලබා ගත හැකියි.මෙය අධ්‍යාපන කටයුතු වලට,රැකියාවකට යාමට ආදියට භාවිතා කළ හැකියි.
උප්පැන්න සහතිකය නැතිවුනොත් හෝ පළුදු වුවහොත් අපට කරන්නට තිබෙන්නේ අදාළ මුද්දර ගාස්තුව ගෙවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එහි අනු පිටපතක් ලබාගැනීමයි.මේ නිසා හැදුනුම්පත වගේම උප්පැන්න සහතිකයත් ආරක්ෂා කරගැනීම අත්‍යාවශ්‍ය‍යයි.
උප්පැන්න සහතිකයක අඩංගු තොරතුරු
01).උප්පැන්න අංකය
02).දිස්ත්‍රික්කය
03).කොට්ඨාෂය
04).උපන් දිනය හා උපන් ස්ථානය
05).නම
06).ස්ත්‍රි / පුරුෂ භාවය
07).පියාගේ විස්තර(සම්පූර්ණ නම,උපන් දිනය,උපන් ස්ථානය,ජාතිය,වෘත්තිය)
08).මවගේ විස්තර(සම්පූර්ණ නම,උපන් දිනය,උපන් ස්ථානය,ජාතිය,වෘත්තිය)
09).මවුපියන් විවාහකද යන වග
10).මුත්තා ලංකාවේ උපන්නේ නම්(මුත්තාගේ නම,උපන් ස්ථානය,උපන් වර්ෂය)
11).පියා ලංකාවේ නොඉපදී මී මුත්තා ලංකාවේ උපන්නේ නම්(මී මුත්තාගේ සම්පූර්ණ
නම,උපන් වර්ෂය,උපන් ස්ථානය)
12).උපත දැනුම් දුන් තැනැත්තාගේ සම්පූර්ණ නම,වාසස්ථානය හා කවුද යන වග
13).දැනුම් දුන් අයගේ අත්සන
14).උපත ලියාපදිංචි කළ දිනය
15).ලේකම්ගේ අත්සන
16).ලියාපදිංචි කිරීමෙන් පසුව ඇතුළත් කළ දෑ
17).එම විස්තර සැපයු අයගේ නම්
18).නම ඇතුළත් කිරීම හෝ වෙනත් නමක් යෙදුවොත්
19).දිනය
20).රෙජිස්ට්‍රාර්ගේ අත්සන
21).ඉහත සදහන් වනුයේ මෙම කාර්යාලයේ තැන්පත් කර ඇති උප්පැන්න ලේඛන සහතික
පිටපතක් බව මෙයින් සහතික කරමි.
22).දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
23).අතිරේක දිස්ත්‍රික් ලේකම් හෝ ප්‍රාදේශීය ලේකම්ගේ අත්සන
24).මෙම සහතිකයේ අඩංගු කරුණු හිතුමතයේ වෙනස් කිරීම දඩුවම් ලැබිය යුතු වරදකි.