Monday, February 1, 2010

උප්පැන්න සහතිකය

මොකක්ද මේ උප්පැන්න සහතිකය,ඔබේ උපන් දිනය,උපන් ස්ථානය,ඔබේ නම,මවුපියන් කවුද ? යනාදී කරුණු ප්‍රධානව ඇතුළත් “උපත් වාර්තාව”උප්පැන්න සහතිකය ලෙස හැදින්විය හැකිය.උපත සහතික කළ යුත්තේ උපන් ස්ථානය ඇති ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි. මේ කටයුත්ත සිදුකරනු ලබන්නේ පළාතේ සිටින අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා විසිනුයි.
ලංකාවේ සිදුවන උපත් ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් මුල් කාලයේ තිබුනේ නැහැ.ජනගහනය වැඩිවීමත් සමගම මේ අවශ්‍යතාවය අපට ඇතිවුණා.ඒ නිසා බ්‍රිතාන්‍ය පාලන යුගයේ යහපත් පරිපාලනයක් සදහා උපත්,විවාහ,මරණ ලියාපදිංචි කළ යුතු බව තීරණය කර සිටියා.බ්‍රිතාන්‍ය පාලනයට පෙර එනම් ලන්දේසි යුගයේදීත් උපත්,විවාහ සහ මරණ ලියාපදිංචි කර තිබෙනවා.ඒ කාලයේ ලියාපදිංචි කළේ නගරයේ විසූ ජනතාවගේ සහ රටේ විසූ ප්‍රභූ පිරිසගේ පවුල්වල අය පමණයි.මේ සදහා ආදුරුප්පු වීදිය,ගාල්ල,යාපනය,මාතර ආදී නගරවල පිහිටි පල්ලිවල ලියාපදිංචි කිරීමේ කාර්යාල පිහිටුවා තිබුණි.මේ ආකාරයෙන් ලියාපදිංචි කිරීම ප්‍රමාණවත් නොවුණු නිසා 1822 අංක 09 දරණ රෙගුලාසියෙන් මුහුදු බඩ පළාත් වලට අයත් දිස්ත්‍රික්ක වල සිටින ස්වදේශිකයන් සහ යුරෝපීයන් නොවූවන්ගේ උපත්,විවාහ,මරණ ලියාපදිංචි කර තිබෙනවා.එදා ලියාපදිංචි කිරීමේ කටයුත්ත පැවරී තිබුණේ අද වගේ ස්ථිර රෙජිස්ට්‍රාර්වරු ලෙස එම කටයුත්ත සිදු කළා.පසු කාලීනව 1848 අංක 06 දරණ රෙගුලාසියට අනූව උඩරැටියන් සහ මුස්ලිම්වරුන්ගේ උපත්,විවාහ,මරණ ලියාපදිංචි කිරීමටත් කටයුතු කළා.ඉන්පසු 1849 දී නිකුත් කළ රෙගුලාසියේ සදහන් වූයේ ක්‍රිස්තියානි අයගේ උපත්,විවාහ,මරණ ලියාපදිංචිය සම්බන්ධව පමණයි.
මේ අයුරින් පනත් සංශෝධනය වෙමින් පැමිණ 1967 අංක 18 දරණ ආඥා පනත මගින් පොදුවේ ලංකාවේ වෙසෙන සියළුම ජනතාවගේ උපත්,විවාහ,මරණ ලියාපදිංචි කිරීමට කටයුතු කළා.එසේ ලියාපදිංචි කිරීමේ වගකීම රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත පැවරුණා.අද අපේ උප්පැන්න ආදිය ලියාපදිංචි කරන රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ආරම්භ කළේ 1964 වසරේදීය.එහි මූලික අරමුණ වූයේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කටයුතුයි.උපත්,විවාහ,මරණ ලියාපදිංචිය මේ ආයතනයට පැවරුණේ 1967 වසරේදී නිකුත් කළ ආඥා පනතක් මගිනුයි.
අද වගේ උප්පැන්න සහතික කිරීමට එකල ඒතරම් අවශ්‍යතාවයක් තිබුණේ නැහැ.රජය ඒ ගැන මිනිසුනට බල කර සිටියෙත් නැහැ.නමුත් උපත්,විවාහ,මරණ ලියාපදිංචි කිරීම නීතිමය වශයෙන් ඉතා වැදගත් දෙයක් වූ නිසා සංශෝධිත ආඥා පනතකින් ඒවා ලියාපදිංචිය අනිවාර්ය දෙයක් බවට පත් කළා.එසේම ලංකාවේ සිටින සෑම පුරවැසියෙකුම පාහේ මේ ගැන උනන්දු වුණා.උප්පැන්න සහතිකයේ අඩංගු තොරතුරු ප්‍රමාණවත් නොවීම නිසා 1975 න් පසුව වැඩිදුර විස්තර ඇතුළත් කර සහතිකය සංශෝධනය කළා.
මුල් කාලයේ උප්පැන්න සහතිකය අඩංගු වූයේ අදාළ පුද්ගලයාගේ විස්තර සමග ඔහුගේ පියා සහ මවගේ තොරතුරු පමණයි.ඒත් 1975 න් පසුව සංශෝධිත පනතක් ඇති වුණා.ඒමගින් සහතිකයේ මුත්තාගේ විස්තර හා මීමුත්තාගේ විස්තර පවා ඇතුළත් කර පුද්ගලයාගේ තවත් විස්තර ඇතුළත් කළ හැකි පරිදි සැකසුණා.1975 ට පෙර උප්පැන්න සහතිකයේ පිටපත් දෙකක් පමණයි තිබුනේ.ඉන් එකක් කොළඹ මාලිගාවත්තේ පිහිටි මධ්‍යම ලේඛනාගාරයේ තැන්පත් වුණා.අනිත් පිටපත ප්‍රාදේශීය කාර්යාලවල තබා ගත්තා.වර්ථමානයේ උප්පැන්න සහතිකයට පිටපත් 3 ක් තියෙනවා.ඉන් එකක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තිබෙන අතර අනික මධ්‍යම ලේඛනාගාරයේ තැන්පත් කරනවා.තුන්වැනි පිටපත උප්පැන්නය අයිති පුද්ගලයාට ලබාදෙනවා.
රෝහලක සිදුවු උපතකදී නම් රෝහලේ සිටින වෛද්‍ය රෙජිස්ට්‍රාර්වරයා ලියාපදිංචි කර “රෝහල් ප්‍රකාශය”නම් වූ ලියවිල්ල නිකුත් කරනවා.එහි උපත සම්බන්ධව සියළු විස්තර අඩංගු කර තිබෙනවා.එම විස්තර අනූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇති උප්පැන්න සහතික ඉල්ලුම්පත පිරවිය යුතුය.ඉන්පසු ප්‍රා.ලේ.කාර්.අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හට එය භාරදිය යුතුය.එවිට ඔහු “උප්පැන්න සහතිකයක්”අපට නිකුත් කරනවා.දරුවෙකු ගෙදරදී ඉපදුනා නම් වහාම ග්‍රාම නිලධාරියා වෙත ඒ බව දැනුම් දිය යුතුයි.ග්‍රාම නිලධාරියා ළග ඇති වාර්තාව පුරවා මව හා පියා අත්සන් කර කොට්ඨාස රෙජිස්ට්‍රාර් වෙත යැවිය යුතුයි.ග්‍රාම සේවක වාර්තාව මත රෙජිස්ට්‍රාර්වරයා උප්පැන්න සහතිකය නිකුත් කරනවා.උප්පැන්න සහතිකයේ කෙනෙකුගේ පුද්ගලික තොරතුරු සියල්ල අඩංගු වෙනවා.ඒ නිසා ජීවිතයේ සෑම අවස්ථාවකදීම තමන්ගේ තොරතුරු ඔප්පු කරන්න උපකාර වෙන්නේ උප්පැන්න සහතිකයයි.(හැදුනුම්පත සෑදීමට අවශ්‍ය මූලික ලියවිල්ලට,ගමන් බලපත්‍රය සකසා ගැනීමට,පාසලට ඇතුළත් වීමට,රැකියාවකට යාමේදී)
උප්පැන්න සහතිකයක් හදලා නැතිනම් පළමුවෙන්ම තමන්ට උප්පැන්න සහතිකයක් නැති බව අදාළ කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දිය යුතුය.එවිට එම නිලධාරින් පරීක්ෂණයක් පවත්වනවා.මෙම පරීක්ෂණයට රෝහලෙන් නිකුත් කරන විස්තර වාර්තාව සහ දෙමාපියන්ගේ කසාද සහතිකය අවශ්‍ය වෙනවා.ඒවා බලා ඒ අනූව උප්පැන්න සහතිකය නිකුත් කරනවා.ලිඛිත සාක්ෂි ඉදිරිපත් කළ නොහැකි කෙනෙකුට නම් උප්පැන්න සහතිකයක් ලබා දෙන්නේ නැහැ.ඒත් ඒ පුද්ගලයාට අනුමාන වයස,මවුපියන්ගේ විස්තර ආදිය අඩංගු කර “අනුමාන වයස් සහතිකය”නමැති ලියවිල්ල ලබා ගත හැකියි.මෙය අධ්‍යාපන කටයුතු වලට,රැකියාවකට යාමට ආදියට භාවිතා කළ හැකියි.
උප්පැන්න සහතිකය නැතිවුනොත් හෝ පළුදු වුවහොත් අපට කරන්නට තිබෙන්නේ අදාළ මුද්දර ගාස්තුව ගෙවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එහි අනු පිටපතක් ලබාගැනීමයි.මේ නිසා හැදුනුම්පත වගේම උප්පැන්න සහතිකයත් ආරක්ෂා කරගැනීම අත්‍යාවශ්‍ය‍යයි.
උප්පැන්න සහතිකයක අඩංගු තොරතුරු
01).උප්පැන්න අංකය
02).දිස්ත්‍රික්කය
03).කොට්ඨාෂය
04).උපන් දිනය හා උපන් ස්ථානය
05).නම
06).ස්ත්‍රි / පුරුෂ භාවය
07).පියාගේ විස්තර(සම්පූර්ණ නම,උපන් දිනය,උපන් ස්ථානය,ජාතිය,වෘත්තිය)
08).මවගේ විස්තර(සම්පූර්ණ නම,උපන් දිනය,උපන් ස්ථානය,ජාතිය,වෘත්තිය)
09).මවුපියන් විවාහකද යන වග
10).මුත්තා ලංකාවේ උපන්නේ නම්(මුත්තාගේ නම,උපන් ස්ථානය,උපන් වර්ෂය)
11).පියා ලංකාවේ නොඉපදී මී මුත්තා ලංකාවේ උපන්නේ නම්(මී මුත්තාගේ සම්පූර්ණ
නම,උපන් වර්ෂය,උපන් ස්ථානය)
12).උපත දැනුම් දුන් තැනැත්තාගේ සම්පූර්ණ නම,වාසස්ථානය හා කවුද යන වග
13).දැනුම් දුන් අයගේ අත්සන
14).උපත ලියාපදිංචි කළ දිනය
15).ලේකම්ගේ අත්සන
16).ලියාපදිංචි කිරීමෙන් පසුව ඇතුළත් කළ දෑ
17).එම විස්තර සැපයු අයගේ නම්
18).නම ඇතුළත් කිරීම හෝ වෙනත් නමක් යෙදුවොත්
19).දිනය
20).රෙජිස්ට්‍රාර්ගේ අත්සන
21).ඉහත සදහන් වනුයේ මෙම කාර්යාලයේ තැන්පත් කර ඇති උප්පැන්න ලේඛන සහතික
පිටපතක් බව මෙයින් සහතික කරමි.
22).දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
23).අතිරේක දිස්ත්‍රික් ලේකම් හෝ ප්‍රාදේශීය ලේකම්ගේ අත්සන
24).මෙම සහතිකයේ අඩංගු කරුණු හිතුමතයේ වෙනස් කිරීම දඩුවම් ලැබිය යුතු වරදකි.

No comments:

Post a Comment