Saturday, January 23, 2010

නිමිති

ඉදිරි අනාගතයේදී මෙය ඉතා කෙටි කාලපරිච්චේදයක් හෝ දිගු කාලපරිච්චේදයක්ද විය හැක.සිදුවීමට නියමිත දෙයක් ගැන කල් තබා අනාවැකි පළකිරීමට පාදක කරගන්නා සත්වයෙකු හෝ ශාකයක් හෝ වෙනයම් ලක්ෂණයක් “නිමිත්ත”ලෙස සරලව හැදින්විය හැකිය.එසේම එක් එක් ක්ෂේත්‍රයට අදාළ නිමිතිද ඇත.එනම් කෘෂිකර්මාන්තයට අදාල නිමිති,ධීවර කර්මාන්තයට අදාල නිමිති,නිවාස හා වෙනයම් ඉදිකිරීම් පිළිබදව නිමිති ආදී වශයෙනි.
දිය හෝ කිරි පිරි බදුනක් ගත් අයෙකු පෙර මගට හමුවන්නේ නම් එය යන ගමන ඉතා සුභ ඵල දෙන නිමිත්තක් බවට ප්‍රබල විශ්වාසයක් පවතී.
ගමනක් යන විට ඉදුනු කෙසෙල් කැනක් හෝ කෙසෙල් ඇවරියක් ගත් අයකු හමුවන්නේ නම් එය ගමන සුභ වන බවට නිමිත්තකි.
ගමනක් පිටත් වීමට සූදානම්ව පෙර මගට පා තබත්ම ලේනකු හැඩුවේ නම් එය සුභ නිමිත්තකි.
ගමනක් පිටත්වීමේදී පොල් මලක් අතින් ගත් අයකු ඉදිරියට හමුවූයේ නම් එයද අදාල ගමනට සුභ නිමිත්තකි.
ගමනක් පිටත් වන විටම බල්ලෙකු පාර හරහා යන්නේ නම් එය සුභ නිමිත්තකි.
උදෑසන කිරි ගසක් දක්නට ලැබීමද සුභ නිමිත්තකි.
ගෙවත්තේ ගසක,නිවසේ යට ලීයේ හෝ මීයක් බැන්දොත් එය නිවැසියන්ට සුභ ඵල දනවන බවට නිමිත්තකි.
නිවසට ගේ කුරුල්ලන් පැමිණීම හෝ එම නිවසේ ගේ කුරුල්ලන් කූඩුවක් තනාගැනීම හෝ නිවැසියන්ට එම නිවසට සුභ ඵල ලැබෙන බවට නිමිත්තකි.
පූජනීය ස්ථානයන්හි බඹර බැදීම සුභ නිමිත්තක් සේ අතීතයේ සිට සැලකේ.
ගමනක් යන විට නාගයකු පෙරමගට මුණගැසීම සුභ නිමිත්තක් ලෙස සැලකේ.
ගමනක් පිටත් වන විට හූනෙකු චූක් චූක් ගෑමද,බල්ලෙකු කන්පට ගැසීමද අසුභ නිමිති සේ සැලකේ.
නිවසට වවුලන් පැමිණීමද අසුභ නිමිත්තකි.
උලලේනා කෑ ගැසීම ගමටම අසුභ නිමිත්තක් සේ ගැමියෝ විශ්වාස කරති.
ගමනක් යන විට පෙරමගට ගැරඩියෙකු හමුවීම එම ගමන නිෂ්ප්‍රයෝජන වන බව කියාපාන අසුභ නිමිත්තකි.
නිවස ඉදිරියේ ඇති ගසක අත්තක වසා සිටින කෑරලකු හැඩීම අසුභ නිමිත්තකි.
නිවසක වහලයේ දෙබරයක් හෝ බඹරයක් හෝ බැදීම ඒ නිවැසියන්ට අසුභ ඵල ගෙන දෙන්නකි.
නිවස තුළ වේයන් හුඹස් බැදීම අසුභ නිමිත්තකි.
කබරයෙකු නිවස තුළට පැමිණීම ඉතාම අසුභ නිමිත්තක් වශයෙන් ගැමියෝ සලකති.
පොල්කිච්චෙකු නිවසට ඒම හා අමිහිරි නාදයෙන් කෑ ගැසීම නිවැසියන්ට අසුභ නිමිත්තක් ලෙස සැලකේ.
නිවසක වූ කූඩුවක් අතහැර ගේ කුරුල්ලන් නිවසෙන් ඉවත්ම යෑම අසුභ නිමිත්තකි.
ගසක දිරාගිය අත්තක සිට කපුටකු කෑ ගැසීම අසුභ නිමිත්තකි.
ගමනක් පිටත්ව යන විට බල්ලෙකු පෙරටම පැමිණීම නම් එම ගමන සුභ නොවන සේ සැලකේ.එසේම එසේ හමුවන බල්ලා කළු පාට නම් එය ගමන ඉතා අසුභ බවට නිමිත්තකි.
බල්ලන්ගේ උඩ බිරුම හා තිරිසන් රංචු වශයෙන් කෑ ගැසීමද අසුභ නිමිත්තකි.
සීසෑම ආරම්භ කරගෙන යන විට කිරි ඉබ්බෙක් හමුවුනොත් එය ඉදිරි කන්නය යහපත් වන බවට සුභ නිමිත්තක් වශයෙන් ගොවියෝ සලකති.
සීසෑමට යොදාගන්නා ගවයන් ගොවියාගේ පා ලෙවකෑම ඉදිරි කන්නය සරුවන බවට නිමිත්තකි.
පැසුණ ගොයමේ පිළිල හටගැනීම සුභ නිමිත්තකි.
උදෑසන කිරි එළදෙනක් දැකීම සුභ නිමිත්තකි.
තනි සුදු පාට වසු පැටවෙකු ලැබීම ගව පට්ටියට සුභ නිමිත්තකි.
ගව පට්ටියේ ගවයෙක් කොටියෙකු විසින් ඩැහැගෙන යන ලද්දේ නම් එය ගව පට්ටියට හා නිවැසියන්ට අසුභ කාලයක් එළඹෙන බවට නිමිත්තකි.
හොදින් නිදාගෙන සිටින බල්ලෙකු හදිසියේ අවදි වී 3 වරක් උඩ බිරුවොත් එය වසංගතයක් පැමිණීමේ හෝ මරණයක් සිදුවීමේ නිමිත්තක් වශයෙන් සලකති.
බල්ලා නිවසේ එහේ මෙහේ යමින් දොර ජනෙල් ආදිය පහුරුගාන්නේ නම් එය වැසි කුණාටුවක් ළග එන බවට නිමිත්තකි.

No comments:

Post a Comment